Sunday, December 9, 2012

මම සිංහල බෞද්ධයෙක්මි

බුදු දහම, සිංහල ජාතිය, උඩරට, පහත රට, කුල ගෝත්‍ර.  මොන යම් හේතුවකට සමාජය කණ්ඩායම් ගත වේ. එය පවතින තත්වයයි. කුල යෙන්, ආගමෙන් ජාතියෙන් මිනිසුන් වෙන්ව පවතියි. තමන්ගේ කොටස උසස් කිරීමට වෙර දරයි, තම වර්ගයා ආරක්ෂා කිරීමට ඔනෑම දෙයක් කරයි. එය මිනිස් ස්භාවයයි. මෙයින් මිදිය හැක්කෙක් නොමැත. ආගම ජාතිය පැත්තකට තැබුවත් අවම වශයෙන් තම යහලුවන් කණ්ඩායම හෝ මෙසේ උසස් කොට සලකයි. ඔවුන්ව ආරක්ෂා කිරීමට වෙරදරයි. එසේ නොකරන්නා මිත්‍ර දෝහියෙකි. බුදු දහම වසර 2500 කට වඩා ඈතකදී ශ්‍රි ලංකාව තුල පැල පදියම් විනි. එය පිටස්තර ආගමකි, දහමකි, දර්ශනයකි. සිංහල ජාතියේ ආරම්භව තවමත් විවාදසම්පන්නය. නමුත් ශ්‍රි ලාංකීක ජාතියේ ආරම්භය සුදු නෙලුම් මතින් තවලම් උඩින්  1995 පසු සිදුවූවකි. සිංහල ජාතියත් බුදු දහමත් විනාශ වී යන බව බුකියේ බිත්ති පුරා ඇලෙවෙමින් යන පොස්ටර් සාක්ෂි දරයි. නමුත් බොහෝ විට එහිදී සිදුවන්නේ ජාති හිතේෂි කම හෝ තම වර්ගයා රැක ගැනිම නොව තවත් වර්ගයක් හෝ ජන කණ්ඩායකම් උමතු කිරීම පමණී. ජාතිය හෝ ආගම රැකීමට share කිරිම හෝ like කිරීම පදනමක් නොවෙයි.

මා උපන්නේ උපැන්න බෞද්ධයෙක් ලෙසය. ජාතියෙන් සිංහල වූයෙමි. ගෙදරින් එලවන නිසා දහම් පාසල් ගියෙමි. ඉගෙන ගත්තේ බුදු රදුන් උපන් ස්ථානයත් බුදු වූ ස්ථානයත් පිරිනිවන් පෑ ස්ථානයත් පමණක් යයි මට විටෙක සිතෙයි. නමුත් මල් රැගෙන යාම, උදෑසන බුදුන් වැදීම, පෝලිමට පන්සලේ සිට පන්තිකාමර වලට පැමිණීම වැනි, අදටත් ප්‍රායෝගිකව සැඟවුනු හික්මවිමක් එතුල නැතුවාම නොවෙයි. ඉන්දියාවෙන් පැමිණියත්, දැනුමේ හැටියටත් මම බෞද්ධයෙකු වීම ගැන ආඩම්බර වෙමි. ජාතියෙන් සිංහල වීම ගැනද එසේම වූ ආඩම්බරයක් ඇත. සිංහල ජාතිය බෞද්ධ දර්ශනයෙන් පෝෂනය විය, ශිෂ්ට සම්පන්න විය. සියල්ල කාලයත් සමඟ වෙනස් වේ යන ධර්මතාවයට යටත්ව බෞද්ධයෝත් සිංහලයොත් වෙනස් වී ඇත. සැබෑ ලෙසම ආගම හා ජාතිය වෙනුවෙන් කතා කිරීම අද නිවට කමකි. මෙය සංකල්පමය වශයෙන් ජනසමාජය තුලට මේ වන විටත් බලෙන් ඇතුලු කර හමාරය. ඔය අතර දේශපාලන වාසි හෝ වෙන යම් වාසි සඳහා ජාතිය හා ආගම වෙනුවෙන් පෙනී සිටින හිවලුන්ද නැතුවාම නොවෙයි.

බුකිය පුරාවට පැතිර යන්නේ සමහර කඩවලින් බඩු ගන්න එපා යන පොස්ටර්ය. නමුත් ප්‍රායෝගිකව එය කරනවා නම් සිදු කල යුත්තේ එම කඩවල ඉදිරිපිටය, නමුත් එසේ කරන්නේ නැත. මන්ද යත් එම සාප්පු සංකීර්ණ ඉදිරිපිටට යන ඔනෑම අයෙකු එවා තුලට ගොස් ඇඳුමක් මිල දී ගනිති. අර කඩෙන් බඩු ගන්න එපා මේ කඩෙන් බඩු ගන්න යැයි කීම විහිලුවකි. ඔය කොයි කඩෙත් තියෙන්නේ මෙරට නිශ්පාදන නොව. බුදු දහම හෝ සිංහල ජාතිය රෑකීමට බුකිය පුරා අනවශ්‍ය පොස්ටර් ගැහීම, අන්‍ය ජාතින් අන්‍ය ආගමිකයන් මගේ දහමට මගේ ජාතියට කරන හානියට වඩා වැඩි හානියක් වැඩි වේගයකින් සිදු කරයි. 

සමාජය දැනුත් කිරීම හා කුපිත කිරිම යනු කාරනා දෙකකි. මට මගේ දේ ලොකුවන්නා සේ ඌට උගේ දේ උසස් වෙයි. හැබැයි සමහර අයට නම් උගේ දේ පමණක් ලොකුය. තමාගේ දේට හෙණ ගැහුනත් කමක් නැත. තමා ජාතිවදියෙකු නොවේ යයි මුමුණයි. එසේම ඌ ජාතිහිතේෂියකුද නොවෙයි.


සිංහල බෞද්ධයෙකු යයි ඔනෑම තැනක ප්‍රකාශ කිරිමට දිරියක් වූ පූජ්‍ය ගංගොඩවිල සෝම හාමුදුරුවෝ අපවත් වී බොහෝ කල්ය. නමුත් ඒ සංකල්ප තවමත් අප අතර ඇත.

තමා උසස් විය යුත්තේ අනෙකා පහත හෙලා නොව!

පෙර ලිපි

වැප්

Thursday, December 6, 2012

දෙවියෝ සහ පිටසක්වල ජීවින්

මා තවම දෙවියෝ දැක නැත්තේය. පිටසක්වල ජීවියෙක්ද දැක නැති මුත් සමහර උන් කියන්නේ "උබ කණ්නාඩියක් ඉස්සරහට පල කියාය". දෙවියන් දැකිමට පමණක් මම කන්නාඩිය ඉදිරියට යන බව ඒ නරකාදීයන්ට මතක් කර දෙන්නේය. දෙවියෝ එන්නේ සතුන්ගේ පිටේය. පිටසක්වලයා එන්නේ පීරිසියකය. මාරම සීන් එක කියන්නේ මුන් ඔක්කොම එන්නේ මනුස්ස ලොකයේ සතුන් පිටේ හෝ පොසිලේන් පිරිසියකය. අම්මපා මුන්ට ලැම්බෝ ගිනියක් හෝ අඬුකෝප්පයක් දෙන්නට දේසපාලුවෙක් නැතුවාද යැයි මට විටෙක සිතෙන්නේය. ඒක හිතලුවක්ම වෙන්නේ දේසපාලුවා දෙවියන් පස්සේ යන්නේ පොල් ගෙඩියක් ඇද බන්න පමණක් යැයි මගේ යටි බඩ වරක් කියූ නිසාය. දෙයියෝ හා පිටසක්වල ජීවියා ගැන මූලික හැඳින්විම මෙතනින් ඉවර කරන්නේය. හුටා අමතක උනා, පිටසක්වලයා දකින්නේ රෑට එලියක් විදිහට නිසා ඌව හම්බුවෙන්න විදිහකුත් නැතුවාය කියා කිව්වා ඕන්.

දෙයියාට දෙයියා කියන්නේ ඌ මාර සිරා පොරක් නිසාය. හොඳ වැඩ කරන නිසාය. අපිට උදව් පදව් කරන නිසාය. දෙයියා හැකියව ඇති එකා නිසා මොනම කාරනයකටවත් මනුසතා සමඟ කේන්ති ගොස් අච්චු නොකර සිටින්නේය. දෙයියා ගැන කතාවට පිටසක්වලයා එන්නේ මෙන්න මෙතනදීය. පිටසක්වලයා ඇවිත් පෘතුවියට ගේම් දෙන හැටි හොඳ හැටි ෆිල්ම් වලින් දැක ඇත්තේය. දෙයියෝ හෙන හොඳ එකාය, පිටසක්වලයාට මේ ලෝකෙට එන්න තරම් දැනුමක් ඇත්නම් ඌ අපිට කෙලවන්නේ නැත. ඉතින් බලාපල්ලා දෙයියෝ හෝ පිටසක්වලා අපිට කවදාවත් හතුරු කම් කරන්නේ නැත්තේය. උන් අපේ යාලුවන්ය, නෑදෑයන්ය, අසල්වැසියන්ය, අපේම අපේම ෆිට් පොරවල්ය.


ඉහත කරනු සැලකිල්ලට ගැනීමෙන් දෙවියන් හා පිටසක්වලයා දෙකෙකු නොව එකෙකු බව විටින් විට මට සිතෙන්නේය.


වැප්

Sunday, December 2, 2012

වෙනස් විදිහකට ගෙවිලා ගිය අවුරුද්දක්

කාලෙකට පස්සේ. බොහොම කාලෙකට පස්සේ. අගෝස්තු මාසෙන් පස්සේ. 2012 අවුරුද්දේ එහෙම නැත්නම් පහුගිය මාස එකොළහ තුල මම මොනවද කලේ කියලා ආපහු හැරිලා බලන්න හිතිච්ච දවසක්.  අවුරුද්ද පටන් ගන්නෙම තාත්තාගේ වෙන්විමේ කඳුලුත් එකතු කරගෙන.  පහුගිය නොවැම්බර් මාසයට අවුරුද්දක් ගෙවිලා ගියේ නොදැනිමයි. වැඩත් එක්ක මොහොතකට අමතක උනත්, යාලුවෝ ගෙදර අය එක්ක ඉඳිද්දි සතුටින් හිටියත්, තනි වෙච්ච ගමන් ආයෙත් තාත්තා හිටපු කාලයට හිත යන්නේ අහම්බෙන් නෙමේ කියලා හොඳටම දන්නවා......................................

2009 දෙසැම්බර් වලදි බ්ලොග් අවකාශයට එකතු වෙලා 2012 වෙද්දි නොදැනිම අවුරුදු ගානක් ගෙවිලා ගිහින්. පටන් ගත්ත කාලේ ඉඳලම සිංහලෙන් ලියන කියවන බොහෝ පිරිසක් කතා බහ කලා දැන හඳුනා ගත්තා. ඒ කාලේ ඉඳන්ම අවුරුදු ගානකට පස්සෙත් ඒ යාලු මිත්‍ර කමත් තාමත් ඒ විදිහටම තියනවා. ඔය අතරෙන් අහම්බෙන් ඇවිත් අහම්බෙන් යන අයත් නැතුවම නොවේ.

පහුගිය කාලේ මම මොනවද කලේ කියලා ආපහු හැරිලා බලද්දි, ඒ දේවල් විස්වාස කරන්නත් අමාරුයි. වැදගත්ම දේ තමයි රස්සාවේ මාරුවීම්. ග්‍රහයා මාරුවෙනවා වගේ එහෙට මෙහෙට පැනපු කාලයක්. දැනුත් ඉන්නේ අඩමානේ. කොයි වෙලේ වෙන තැනකට යයිද කියලා විස්වාස නැහැ. ඒත් දැන් නම් එහෙම එකපාරට ජොබ් එක දාලා යන්න බැහැ.

කොළපාට (ඔන්ලැයින්) ජිවිතය නවත්වලා මාස ගානක් වෙනවා. දැන් වැඩි පුර ඉන්නේ අලුපාට ජිවිතයේ (හැංඟිලා). කොහොම උනත් ඉස්සර වගේම 10.30 වෙද්දි නින්දට යනවා. නිතර නිතා කතා බහ නොකලට ඉඳලා හිටලා හරි ඉස්සර කතා බහ කරපු එවුන්ට චැටක් දාන එක තාමත් අත ඇරලා නැහැ. වෙනමොකටවත් නෙමේ ඕපයක් දූපයක් හොයන්න තමයි ඉතින්.

ලියන්න දේවල් ගොඩක් තිබ්බත් එක දිගට ගැලපිලා එන්නේ නැහැ. ඒ හන්දා  අන්තිමට පහළ තියන වාක්‍ය යෙන් මේක ඉවර කරන්නම්

ඉස්සර නම් බ්ලොග් අවකාශය මරු. දැන් වැඩක් නැහැ . කියවන්න දෙයක් නැහැ . (අතීත කාමය :DDD)


වැප්

Monday, August 27, 2012

අපි ගයමු - මතු පරපුර උදෙසා - රන්වල පදනම

සින්දු ගයන්නට දන්නේ නැත කියන්නට හැකිය. සංගීත භාණ්ඩයක් වාදනය නොහැකිය. එහෙත් ගීතයක් රස විඳින්ට හැකිය. එයිනුත් කටෝර සංගීතයට වඩා සරළ ගීයට වඩාත් කැමතිය. සංගීත සන්දර්ශණ නරඹා ඇත. එහිදි ඔවුහු ගයති. අපි අසා සිටින්නෙමු.

නමුත් අපිත් ඔවුහුත් ගයනා සංදර්ශනයට ප්‍රථම වරට සහභාගි වුනෙමි. ඒනම් නෙත් FM මධ්‍ය සත්කාරයෙන්, Serenity සම අනුග්‍රහයෙන්, BMICH සාඩම්බර ඉදිරිපත් කිරීමක් ලෙස සෑම මසකම අවසන් සෙනසුරාදා සවස 5.30 BMICH හි කොළඹ කමතේ දී පැවැත්වෙන "අපි ගයමු" ප්‍රසංගයයි.

සිහිනගේ දැනුම් දීමක් අනුව, මමත් තවත් සයිබර් අවකාශයේ මිතුරෝ කිහිපදෙනකුත් පසුගිය සෙනසුරාදා එනම් 2012/08/25 දින BMICH හි තිබූ මෙම ප්‍රසංගය නැරඹීමට ප්‍රථම වරට ගියෙමු. නවමු ඇත්දැකිමකි. සහන් රන්වල ප්‍රමුඛ ඔවුන්ගේ ඉදිරිපත් කිරීම කොපමණ සිත්ගත්තේද කිවහොත්, ඊලඟ මස ප්‍රසංගයට යාමට දැනටමත් සුදානමින් සිටින්නෙමි.

ඊලඟ ප්‍රසංගය පැවැත්වෙන
දිනය - 2012/09/22
ස්ථානය - BMICH කොළඹ කමත
වේලාව - සවස 5.30 - 7.30

සටහන - මෙම ප්‍රසංග නොමිලේ පැවැත්වෙයි.


ගීතයක් ගායනා කර, නර්තනයක් නරඹා වෙනස් ආකාරයක වින්දනයක් ලැබීමට ඊලඟ ප්‍රසංගයට එකතු වන්න.




වැප්



Saturday, July 28, 2012

ආදරය

මාතෘකාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපි හැමෝම අත්විඳින අත්දකින බොහෝම සොඳුරු අත්දැකීමක්.

මේ ලඟකදි මම සහභාගි වූ ප්‍රියසම්භාෂනයකදි වෙනස් වූ අත්දෑකීමක් අත්දකින්න උනා. කෙටියෙන් තියෙන්නේ ඒ සිද්ධිය.

දරුවාගේ වයස අවුරුදු 30 ක් විතර ඇති. ඔහු යම්කිසි මානසික වියවුලකින් පෙළෙනවා වගේම හැසීරිමත් අමුතුයි. ඒ අම්මටත් ටිකක් වයසයි. ඔබ දන්නවද ඒ අම්මා ඒ පුතාට කොච්චර ආදරයද කියනවා නම්. අනික් තරුණළමයි ඉන්න තැනකට එක්ක ඇවිත් මත්පැන් වීදුරුවක් අරන් බොන්න දුන්නා. බොහොම අසාවෙන් ඒ දරුවත් අර මත්පැන් වීදූරුව එක හුස්මට බිව්වා. තවත් මදිද කියලා අහපු අම්මා ඊලඟට දුන්නේ කොකා කෝලා විදූරුවක්.


වැප්

Monday, June 11, 2012

පරිසර හිතකාමී මගේ හීනේ

චුට්ටකට කලින් දැක්ක හීනේ
Printout එකකට ගන්න බැරි උනේ
USB port එකක් නැති හින්දද?

නැත්නම් දැකපු අයව Google කරලා
හොයා ගන්න බැරි හින්දද?

Location එකත් Tag උන එකේ
ඉන්න තැන Map එකේ ඇති

සමරහවිට App එකකින් දැනටමත්
Share වෙලා ඇති,


USB Port තිබුණා නම්
බුලත් විට ඔතන්න කොළ ඕනතරම්:DDD


සැලකිය යුතුයි
හීනය දැකපු දවස් වල Blue Tooth / Wifi හෝ එවැනි වෙනත් තොරතුරු හුවමාරු ක්‍රමයක් සොයාගෙන නොතිබුණි.
වැප්

Tuesday, April 17, 2012

නගර ශාලව / ඕලන්ද කෞතුකාගාරය - කොලඹ

සුපුරුදු පරිදි තවත් එක් සිංහල අවුරුද්දක් ගෙවී ගියේය.රැකියාව බලා පිටත්ව යා යුතුය. නිරතුරුවම පරිගනයක හා ඔට්ටු වෙමින් ගෙවි ගිය කාලයට මද විරාමයක් තබමින් නිදහසේ කොළඹ නගර තුල ඇවිදීමට මහඟු අවස්තාවක් ලද මොහොතේ, අපේ වානිජ නගරයේ ඓතිහාසික තැන් සොයා යාමේ උනන්දුවක් මට හා මගේ මිත්‍රයාට ඇති විය. එහි ප්‍රතිපලයක් ලෙස නව අවුරුදු උදාවට පසු ඒ සඳහා දින නියම කරගතිමු. අව්රුදු උදාවට කලියෙන් ඒ තැන් පිහිටි ස්තාන හා යායුතු තැන් ගැන විපරම් කල පෙර සූදානමක් ලබාගත්තේ පහසුවෙන් ඉලක්ක සපුරා ගැනිමටය. ඒ අනුව කොලඹ පැරණි නගර ශාලව හා ඕලන්ද කෞතුකාගාරය අපේ පොරොත්තු ලේඛනයේ මුලටම ගැනින. තද කාෂ්ටක අව්වේ සෙනග අතරින් ඒ පුරාණ ස්ථාන කරා ගියෙමු. බැලූ බැල්මට ජනාකිර්ණ බැවින් මෙවැනි ස්ථානයක් තිබේ දෝයි නිකටමවත් නොසිතෙන තරමට පෙට්ටි කඩ හෙවත් විදි වෙළඳාම සරුවට වන බව පහත රූප සටහන් මොනවට පිළීඹිබු කරනු ඇත.


මෙන්න ජාතික කෞතුගාර දෙපර්තමෙන්තුවේ පිටුව
http://www.museum.gov.lk/web/index.php?option=com_regionalm&task=regionalmuseum&id=1&Itemid=76&lang=si

කොළඹ පැරණි නගර ශාලව - Colombo Old Town Hall building
ගෑස්පහ හන්දිය අසල පිහිටා ඇති මෙම පෞරාණික ගොඩනැගිල්ල කලකට ඉහතදී පිළිසකර කර අති බවක් පෙනුනද වර්ථමානයේ ජරා ගොඩකි. හිඟන්නන්ගේ හා කුඩු කාරයින්ගේ රජ දහනකි. ඕනෑම අයෙකුට අනවසරයේ ඇතුල් විය හැකි මෙම ගොඩ නැගිල්ල මහල් දෙකකින් සමන්විතය. ඉහළ මලය තුල රැස්විම් ශාලාවක් ඇත. අද පවා කුඩා රැස්විම් සඳහා වෙන් කර ගත හැක. මිනිස් රූප ප්‍රමානයටම කල අයුරු විදහා දක්වන, වට මේස සාකච්චාවක පසෙකින් නිර්මාණය කර ඇත. පහත මාලයේ එක් කොටසක් දැනට ගිනිනිවන හමුදාවේ ප්‍රයෝජනයට ගෙන ඇති අතර පිවිසුමෙන් දකුණු පස පැරණි රථවාහන හා උපකරණ සඳහා වෙන් කර ඇත. හිඟන්නාගේ වතුර බෝතල් ඇඳුම් කඩමාලු වලට ආරක්ෂාව සපයන්නේ මෙම පැරණි වාහනයි. පාලුවට කාන්සියට නිදා ගැනිමට ගන්නේද මෙම කොටසයි. පහත රූපය හොඳින් බලන්න.


නගර ශාලාවේ වැඩිදුර පින්තූර සඳහා මාගේ බුකිය බලන්න :DDD https://www.facebook.com/media/set/?set=a.3700694998933.2167367.1322169573&type=1


කොළඹ ඕලන්ද කෞතුකාගාරය - Colombo Dutch Museum
කොළඹ පිටකොටුව දෙවන හරස් විදීයේ කුමාර විදීයේ පිහිටා ඇති මෙම ගොඩ නැගිල්ල බැලු බැල්මට සමාන්‍ය ගොඩනැගිල්ලකි.



රුපියල් 20 ක අතුල්වීමේ අවසර පතකුත් [ විදේශිකයන් සඳහා ඉහළ මිළ ගනන් සඳහන් වී තිබුණි ] ඡායාරූප ගැනිම සඳහා රු 250 ක මුදුලකුත් ගෙවිය යුතුය. මහල් දෙකකින් සමන්විත ප්‍රධාන ගොඩනැගල්ලේ ඉහල මාලය වම් පස විශාල කාමරය පෞරාණික ඇඳන් පුටු පෙට්ටගම් කාසි ආදියටත් දකුනු පස කාමරය ලියකියවිලි සඳහාත් වෙන් වී තිබුණි. එහි වැදගත්ම දෙය නම් ශ්‍රි ලංකාවේ මුද්‍රණය කළමුල් පොතෙහි ඡායා පිටපතක් තිබිමයි. ඊට අමතරව රාජකීය ලිපි හුවමාරු හා ආන්ඩුකාරවරුන්ගේ ලිපිද දක්නට තිබුණි. පහත මාලය තුල ඉතිහාස කරුණු ගෙන හැර පෑම නැව් වල ආකෘති හා පාලන පෙදෙස් විදහා දැක්වා තැබිමට යොදා ගෙන තිබුණි. මැද මිදුවල් සහිත U හැඩැති මෙම ගොඩ නැගිල්ලේ ඉතිහාසය සඳහන් වී තිබුණේ පහත අයුරුනි

"17 වැනි සියවසේ අග භාගයේ (1692 - 1696) ඕලන්ද ආණ්‌ඩුකාර තෝමස්‌ වෑන් රී සිය නිල නිවාසය ලෙස ඉදිකර ඇති මෙම ගොඩනැඟිල්ල සිය නිල කාලය අවසන් වීමත් සමඟ ඕලන්ද පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම (V.O.C සමාගම) වෙත විකුණන ලදුව සමාගම විසින් අනත්දරු නිවාසයක්‌ හා දෙව්සත්හලක්‌ ලෙස ලංකාවේ ඕලන්ද පාලන කාල පරිච්ඡේදය අවසානය තෙක්‌ම (1796 දක්‌වා) පවත්වා ගෙන ගොස්‌ ඇත. අනතුරුව බ්‍රිතාන්‍යය පාලන සමයේදී මෙම ගොඩනැඟිල්ල හමුදා රෝහලක්‌, යුධායුධ ගබඩාවක්‌, පොලිස්‌ පුහුණු මධ්‍යස්‌ථානයක්‌ ලෙස ද අවසානයේ පිටකොටුවේ තැපැල් කාර්යාලය හා විදුලි සන්දේශ මධ්‍යස්‌ථානයේ කොටසක්‌ ලෙස ද මෙම ගොඩනැඟිල්ල පවත්වාගෙන ගොස්‌ තිබේ. පසුකාලීනව මෙම ගොඩනැඟිල්ලේ කෞතුක වටිනාකම සැලකිල්ලට ගනිමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට පවරා ගත් අතර 1982 ජුලි 10 වැනි දින සිට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ "යුග කෞතුකාගාරයක්‌" වශයෙන් හා එළිමහන් කෞතුකාගාරයක්‌ වශයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදී. "

උපුටා ගැනිම - දිවයින http://www.divaina.com/2011/02/13/siya07.html


U අකුරු හැඩැති ගොඩ නැගිල්ලේ පහත මාලයේ පිවිසුමෙන් දකුනු පස තීරු කොටස් දෙකේ එක් පැත්තක් වර්තාමනයේ රාජකාරි කාමර ලෙස යොදා ගනි. අනෙක් තීරුවෙහි දක්නට ඇත්තේ පැරණි භාන්ඩ හා සොහොන් ස්මාරකයි. වැඩි දුර ෙතාරතුරු ඉහත දිවයින බැඳිය හරහා  ෙගාස් කියවන්න මන්ද යත් එකම තොරතුර ලිවිමට මට කම්මැලිය :DDD


















වැප්

Friday, April 13, 2012

බැංකු , අලුත් අවුරුද්ද සහ වෙනත් කතා

ඉස්සර බැංකු අව්රුද්දට වසා තිබුණි. දැන් ගනු දෙනු සඳහා ඒ අයාතන අලුත් අවුරුද්ද උදා වී ගනුදෙනු කිරිමේ වේලාවට විවෘතය. එක අතකට මෙය හොඳය අවුරුද්දට කලින් ATM මැෂින් වලින් ගත් තමා ඉපයූ සල්ලි මිටි ටික දවස් දෙක තුනක් තමුන් ලඟ තබා ගැනිම වාසනා ගුනයක් යැයි සිතේ.තව අතකට අවුරුද්දක් පමණක් පාවිච්ච කල හැකි ඔරලෝසුව මාරු කරගන්නා දිනයයි. අවුරුදු සහ බැංකු එතනින් ඉවරය.

වෙනත් කතාව නම් මගේ මොළ ගෙඩියට කම්පනා වූ අමු පට්ට සිතුවිල්ලකි. බැංකු නඩත්තු කරන්නේ අපිය. සල්ලි දමන්නේ අපිය. ඉතින් අපිට ඒවහි තිරණ වලට බලපෑම් කරන්නට නොහැක්කේ මන්ද. එක එක කාලවල් වලට එක එක වැඩ සඳහා බැංකු අනුග්‍රහකත්වය දක්වයි. දෙයියනේ මේවා කෝටි ගනං සල්ලිය. අපිට තුට්ටු දෙකේ පොළියක් දී නිකරුනේ සල්ලි නාස්ති කරයි. අපේ සල්ලි වලින් උන්ට ඕන තිරණ ගනියි. මං අහන්නේ නිකමටවත් අපිට යෝජනවාක් ඉදිරිපත් කරන්නට බැරිද? අඩු තරමේ අපේ දෙයකට ස්පොන්සර් සිප් එකක් ගන්නට බැරිද. අපේ සල්ලි ටික උන් ලඟ දමා උන්ට ඕනා දේවල් වලට ඒවා වියදම් කරන හැටි අපි දැක බලා (දුක්) සතුටු වෙමු. හැමදාම මේවා බලා සිටය හැකිද. අපේ අයිතිය අපි ලබාගන්නේ කෙසේද?

අදම බැංකුවෙන් සල්ලිට ටික උස්සන් එන්න හිතෙන්නේ මේ විටය. කරුමයක මහත වෙන එකෙක් මට උඩින් සල්ලි දමා ඇත. ඉතින් මගේ සල්ලි ගැනීමට උගේ සල්ලි ඉවත් කර ගතයුතුය. ඌව දැනුවත් කර සල්ලි ටික ගන්නා ලෙස බොහෝ දැනුවත් කළ යුතුය. ඒ සඳහා ලීෆ්ලට් ගැසිය යුතුය පොස්ටර් දෙක තුනක් ඇලවිය යුතුය. ඊට අමතරව අතුරුදහන් වීමට එකෙකුද සෙවිය යුතුය. ඇත්තටම බැංකුවට බලපෑම් කල නොහැකිද? නිකමට හරි අපි සල්ලි දැම්මේ නැත්නම් උන්ට හුලං බව උන් දැන ගතයුතුය. ඊටත් වඩා මේ බැංකු බොහොමයක් ණය දෙන්නේ තඩි පොලු කාරයින්ටය, අපිට ණයක් ගැනිමට දහසක් තැන් වල අත්සන් කර තව අඳුනන එවුන්ගේද සාක්ෂි දිය යුතුයි. ඉතින් දෙයියනේ අපි දාන සල්ලි වලට මුන් හොඳ පොළියක්වත් නොදෙන එකේ අපේ තිරණ ඒක ඇතුලට දාලා බලන්නට චෑන්ස් එකක් ඇත්තේම නැද්ද?

ලබන්නා වූ අවුරුද්දේවත් මේකට ක්‍රමයක් සොයා ගත යුතුය. අලුත් අවුරුද්දට කලින් මේ ලිපිය දැම්මේ නව අවුරුද්දේවත් හරවත් දෙයික් ලිවීමට ඇස්වහ කටවහ ටික පුච්චා දැමිමටය.

හැමෝටම අපේ යටත ගත හැකි බැංකු දිනයක් උදාවේවායි පතමි

වැප්


Saturday, March 17, 2012

ත්‍රිපිටකයේ විශේෂ තැන්

පහුගිය ටිකේ ත්‍රිපිටකයේ එහෙට මෙහෙට යද්දි පහළ තියන විශේෂ තැන් ටික හම්බඋනා . කැමති කෙනෙක් උනන්දු කෙනෙක් ගිහින් බලන්න

කියවන්න ෆොන්ට් එක දාගන්න මෙතනට යන්න - http://www.metta.lk/fonts/index.html

පෙරේතයෝ පිළිබඳව - ලක්ඛණ සංයුක්තය
කුල ගෝත්‍ර ඉතිහාසය - අම්බට්ඨ සූත්‍රය
ප්‍රාතිහාර්යයන් - කේවට්ට සූත්‍රය
චෝදනා කළ යුතු අනුශාසකයෝ - ලෝහිච්ච සූත්‍රය
බුදුවරු ගැන අතීත කතා / බෝධීසත්ව උත්පත්තිය / මහාපුරුෂ ලක්ෂන - මහාපදාන සූත්‍රය
මහා පුරුෂ ලක්ෂන - ලක්ඛන සූත්‍රය
සත්‍ය වුවත් අනර්තයට පවතිනම් බුදුන්වහන්නේ එය බැහැර කරති - පාසාදිකා සූත්‍රය
ලෝක උත්පත්තිය / එව බලව / ප්‍රාතිහර්යය - පාඨික සූත්‍රය
ලෝක උත්පත්තිය - අග්ගඤ්ඤ සුත්‍රය
ප්‍රශ්න විසඳන ආකාරය - උදුම්බරික සිහනාද සූත්‍රය
අනාගත ශ්‍රමණ ගෝත්‍රය / රාත්‍රියට ආහාර ගන්නා භික්ෂුන් / දානයේ අනුහස් - දක්ඛිනවිභංග සූත්‍රය
මස් මාංශ පිළිබඳව - ජීවක සූත්‍රය
නිගන්ඨ වාදය/ මුල් ශාස්තෘවරුන්ට ගරු කරන්න කීම - උපාලි සූත්‍රය
බුදුන්වහන්සේ පිළීතුරු නොදෙන ප්‍රශ්න - කුක්කරවතිය සූත්‍රය


වැප්

Wednesday, February 29, 2012

පරලොවක් ඇත්තේද නැත්තේද?

ඔය පහුගිය ටිකේ නෙට් එකේ ලින්කු දිගේ එහෙට මෙහෙට යනකොට ත්‍රිපිටකයේ සූත්‍රයක් හම්බ උනා පයාසි සූත්‍රය කියලා. මේ පහලින් තියෙන්නේ එහි සංෂිප්තයක්. කොච්චර රසවත් උපහරණ ගෙනහැර පලා තියනවද. මැවිලා පේන විදිහට කොතරම් රසවත්ද විස්තර කරනවද. ත්‍රිපිටකයේ සිංහල අනුවාදය තියන හින්දා දැන්නම් දිගටම කියවන්න හිතෙනවා. බලමු පරලොව අතිද නැති කියන එක ගැන කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ හා පයාසි රජතුමා අතර සංවාදයේ විස්තර වන විදිහ. ප්‍රශ්න අකාරයේ පහත සටහන ඉදිරිපත් කරන්නම්. උත්තර ඔබම තීරණය කරන්න. මීට වඩා ලස්සන ඉහත තියන ලින්කුවේ විස්තරයක් තියනවා. ඒක කියවන්න කියලා තමයි කියන්නේ. :DDD මෙහි පයාසි රජතුමා කරුණු ගෙන හැර දක්වන්නේ පරලොවක් නැතැයි කියන්නයි. කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේත් නිදසුන් මගින්ම පරලොවත් ඇතැයි පහදා දෙනවා. ඔය අතරේ පොඩි පොඩි විද්‍යා සංකල්පයකුත් තියනවා.

පයාසි රජතුමා - පස් පව් කරන අය නිරයට යනවානම් නිරයට ගියා කියලා ඇවිත් කියන්නේ නැහැනේ?
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - මරණ දඩුවම නියම වෙච්ච කෙනෙක් වදකයට කිව්වොත් මගේ නෑයන්ට කියලා එන්නම් කියලා යන්න දෙනවද?

පයාසි රජතුමා - මැරුණාට පස්සේ දිව්‍ය ලෝකේ යන අය ඇවිත් කියන්නේ නැහැනේ එහේ විස්තර?
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - අසූචි වලක වැටිලා හිටි මනුස්සයෙක් සුවඳ පැනින් නහවා සුවඳ ගන්වා සුඛෝප බෝගි විදිහට ඉන්න සැලැස්සුවොත් ඔහු හෝ ඇය නැවත අසූචි වලට එනවද?

පයාසි රජතුමා - කරන ලද කුසල අකුසල කර්මයන්හි පල ප්‍රතිවිපකා කවුරත් ඇවිත් කියන්නේ නැහැනේ?
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - මනුෂ්‍ය ලෝකේ වර්ෂ සීයක් තව්තිසාවේ වැසි දෙවියන්ගේ එක් රැයක් හා එක් දවාලක් නම් ඇවිත් කියන්න පුලුවන්ද එහේ විස්තර?

පයාසි රජතුමා - කවුද කිව්වේ වැසි දෙවියන්ගේ එක් රැයක් හා දවාලාක් මෙහේ අවුරුදු සීයක් කියලා?
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - අන්ධ මනුස්සයෙක් කිව්වොත් ඉරයි හඳයි නැහැ කියලා? ඒක ඇත්තද බොරුද?

පයසි රජතුමා - සිල් රකින ගුණ ගරුක සිල්වතෙක්ව මරණ්නට හිතෙනවා එතකොට එතුමා දිව්‍ය ලෝකේ ගිහින් සැප විඳියිනේ. එත් ඔවුන් කියනවා ඔවුන්ව මරන්න එපා කියලා
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - එතුමන්ලා ජීවත්ව සිටින තාක් කල් පින් රැස් කරනවා.

පයාසි රජතුමා - මිනිහෙක් මරණකොට හොඳට සම්වලින් වෙලලා හැලියක දාලා වහලා ලිපේ තියලා රත් කරලා මරනවා. මැරුණාට පස්සේ හැලිය ඇරලා බලනකොට පිට වෙන ජීවිතයක් දකින්න නැහැනේ?
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - හීන දකිනකොට ක්ෂනයෙන් පොකුණු කඳු ආදිය දකින්න මෙන්ම වෙනත් ඕනෑම තැනකට යන්න පුලුවන් . ඒත් ඒ අපි යන එන දේවල් නොනිදා ඉන්න අයට පේනවද? නිදි ඔබත් ඇහැරි ඉන්න අනික් අයත් ජීවත් වෙලා ඉන්ඩැද්දි ඒ ඇතුල්වන පිටවන එක නොදැක, මැරුණ මනුස්සයෙක් ඇතුල්වන පිටවන තැන් කොහොම බලන්නද?

පයාසි රජතුමා - මිනිහෙක් මැරුණායින් පස්සේ හා කලින් බර කිරුවොත් මැරුණාට පස්සේ බර වැඩියි.
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - යකඩ ගුලික් රත් කරල ගිනියම් උනෑයින් පස්සේයි සීතල උනාට පස්සෙයි බර කිරුවොත් ගිනියම් වෙච්ච වෙලේ බර අඩුයි. ආන් ඒ වගේ තමයි ආයූෂයි උෂ්නයයි තියනවා නම් බර අඩුයි.

පයාසි රජතුමා - මිනිහෙක් උඩුකරු කරලා මැරුවත් දකින්නේ නැහැනේ ජීවයක් නිකුත් වෙනවා?
කාශ්‍යප මහ රහතන් වහන්සේ - හක් ගෙඩියක් ගැන නොදන්න පිරිසක් මැද්දේ හක් ගෙඩියෙන් සක් නාදය පිටකර පැත්තකට වෙලා බලා හිටපුවාම. ඒ නොදන්න පිරිස ඒ හක්ගෙඩිය ඒ මේ අත කරකවමින් හක් ගොඩියට යාඤ්ඤා කරනවා සද්දේ වරෙන් වරෙන් කියලා. නමුත් අර මුලින් හක්ගෙඩිය පිම්බ මිනිහා ඒක නැවත පිබලා පෙන්නුවාම අර මිනිස්සුන්ට තේරුම් යනවා, හක් ගෙඩිය කවුරු හරි එක්ක සම්බන්ද වෙච්චාම හෙවත්, උත්සහා කරලා හුලං වලින් පිම්බාම තමයි ඒ සද්දේ එන්නේ කියලා. ආන් ඒ වගේ තමයි උෂ්නත්වය විඤ්ඤානය හා ආයූස තියන කල් ජිවිතය තියනවා එකක හෝ අඩුවක් කියන්නේ මරණයට පත්විම.

පයාසි රජතුමා -මිනිහෙක් අල්ලං ඇවිත් වද දුන්නට ජීවිතයක් දකින්නේ නැහැනේ?
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - එක්තරා පෙදෙසක ජීවත් වෙන ගිනි පුජා තියන ජටිලයෙක් නගරයට යනවා ලමයව ආස්‍රම යේ තියලා. ගිනි ගොඩ නිවා ගන්න එපා කියලා. නමුත් ඒ ළමයාගේ ගිනි ගොඩ නිවෙනවා එක එක සෙල්ලං දාන්න ගිහින්. ලමයා බලන් ඉන්නවා ගිනිගොඩ පත්තු වෙනකල්. නමුත් ආපසු පැමිනෙණ ජටිලයා කියනවා බලං ඉදලා හරියන්නේ නැහැ මෙන්න මෙහෙම දරකෑලි එකට අතුල්ලන්න ඕනේ කියලා. ආන් ඒ වගේ තමයි නුවණින් තර්කයෙන් පරලොව හොයන්න බැහැ

ඊට පස්සේ කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ පැහැදිලි කරනවා පරලොවක් නැතැයි කියන දෘෂ්ටිය අල්ලන් සිටිම නුවණට හුරු නැහැකියලා. ඒක ගැන ලස්සන කතා තුනක් කියනවා. එකක් අපි දන්න අර කාන්තරයේ ගැල් පන්සීය ගානේ යන කතාව. තව එකක් වේලිච්ච අසූචි ගොඩක් කර තියන් යන ව්‍යපාරිකයෙක් ගැන. අනික වැඩකට නැති හණ මිටියක් ගෙදර අරන් යන යාලුවෙක්ගේ කතාව. ඒ කතා තුන බලන්න මේ ලින්කුවට යන්න.


පාසාදික සූත්‍රයේ පරලෝකය පිළිබඳව චුන්දික ස්ථවීරට බුදුරජානන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරති

සමහරු අහනවා පරලොවක් තිබේද නැද්ද කියා. එවිට මහනෙණි ඔබ පිළීතුරු දෙව // පර ලොව සෙවිම අර්ථයෙන් යුක්ත නොවෙයි. එය නිවනට මාර්ගය නොවෙයි එහෙයින් එය භාග්‍යවතුන් වහසන්සේ ප්‍රකාශ නොකරන ලද්දේය \\ කීයා


වැප්

Monday, February 6, 2012

තුන්මස පින්කම

2011 වර්ෂයේ නොවැම්බර් මස 13 දින සමුගත් මාගේ ආදරණිය පියාණන්ගේ තුන්මස පින්කම අප නිවසේදි සිදු කිරිමට නියමිතය. පෙබරවාරි දහතුන් වන දින රාත්‍රී 7:00 ට ධර්ම දේශනාවත් පසු දින එනම් පෙබරවාරි 14 වන දින දහවල් දානමය පුණ්‍ය කර්මයත් පැවැත්වෙයි. පින් කැමති සහෘද ඔබට ආරාධනා කරමි

වැප්

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....