ඉරිදා දහම් පසලේ තාත්තා ළමයින්ට උගන්වනවා. ඊට පොඩ්ඩක් එහායින් පොඩි පුටුවකුයි මේසෙකුයි තියලා මාව වාඩි කරලා. තාත්තා ඉඳගෙන මාත් ඉඳගෙන. කලු ලෑල්ලේ මොනවා හරි ලියන්න තාත්ත නැගිටින්න හදනවා. මම කල බල වෙනවා තාත්තා මාව දාලා යයි කියලා. මම තාත්තාට කලින් නැගිටිනවා. තාත්තා කලු ලෑල්ලේ ලියන දේ ලියලා ඉවර වෙනකල් මම මගේ තාත්තා දිහා නැගිටලා බලන් ඉන්නවා. මගේ හිතේ තියෙන්නේ තාත්තා මාව දාල යයි කියන බය. තාත්තා ආයිත් පුටුවේ ඉඳගන්නවා ඒත් මම ඉඳ ගන්නේ තාත්තා ඉඳ ගත්තාට පස්සේ. ටිකකින් තාත්තා පන්තිය වටේ යන්න නැගිටිනවා. පන්තිය වටේ ගිහින් පොත් බලලා එනකල්ම මම නැගිටලා. පස්සේ පස්සේ ඒ අයියලා අක්කාලා හැමෝම කිව්වේ තාත්තා නැගිටින කොට නැගිටිනවා ඉඳ ගන්නකොට ඉඳගන්නවා කියලා. මේ මට මතක විදිහට එක වසර හෝ ඒ ආසන්න කාලය.
තාත්තා පන්ති කලා, මේ වෙන කොට මම පහ වසරේ හෝ හතර වසරේ. පන්ති පටන් ගත්තාට පස්සේ මම යනවා එකොළහට විතර. පන්තිය පිටි පස්සෙන් ගිහින් මම තාත්තා දිහා බලන් ඉන්නවා. පොඩිම කාලේ තාත්තා මාව දාලා යයි කියලා තාත්ත කරන දේම කරපු මම දැන් බලන් ඉන්නේ රුපියල් දහයක් දෙනකල් මට. වෙන මොකටවත් නෙමෙයි ඉස්සරහා තියන රිමාකෝ එකෙන් මුද්දරස්පලන් දලා තියන ටි බනිස් ගෙඩි දෙකක් කන්න. සමහර දාට ගල් බනිස් එකයි ටි බනිස් එකයි. අදටත් මම පුදුම ප්‍රෙරේත කමක් තියෙන්නේ ටි බනිස් වලට. මාව දැක්ක ගමන් කමිසේ උඩ සාක්කුවට අත දාලා මට රුපියල් දහයක් දිලා කියනවා ළමයෝ මේක අරන් යන්න කියලා.
ඉරිදා දහම් පාසල් මාත් ගියා මේ මට මතක විදිහට හය හෝ හත වසර. අපිට විවේකය වෙන වෙලාවකට ධර්මාචාර්ය කරන අයට වෙන වෙලාවක. අපේ විවේකය වෙලාවෙදි මම තාත්තා උගන්වන පන්තිය ලඟට ගිහින් දැලේ එල්ලිලා බලන් ඉන්නවා. තනියම නෙමෙයි මගේ යාලුවෙකුත් එක්ක. නොදැක්ක ගානට මුලින් ඉන්න තාත්තා පස්සේ දැල අස්සෙන්ම මට රුපියල් දෙක්ක දෙනවා. යාලුවා එක්ක කෙලින්ම දුවලා එන්නේ අච්චාරු ගන්න. රුපියල් දෙකට කාපු අච්චාරු වල රහ මට දැනුත් මතක් වෙනවා.
තාත්තාගේ ඉස්කෝලය තිබුනේ වත්තල. මම හය වසරේ ඉඳන් ගියේ ගුරුකුලයට. තාත්තා මාව ඉස්කෝලයට ඇරලලා පයින්ම යනවා බියගම පාරේ හතරේ කණුවට. ඉගෙනිමෙදි මගේ තාත්තා කවදාවත් බලපෑම් කලේ නැහැ, මට ඕන විදිහට කරන්න දුන්නා. හැබැයි තාත්තා උගන්වපු ගොඩක් ලමයි ශිෂ්‍යත්වයෙන් ඉහළින් පාස් වෙනකොට, මම ෆේල් වෙච්ච එක ගැන තාත්තා දුක් උනා කියලා මම දැන ගත්තේ පස්සේ කාලෙකදි. මගේ තාත්තා වැඩිය කතා බහ කරන්නේ නැහැ. ඕන දේ කිව්වා. එක පාරයි. මම දුර විශ්ව විද්‍යලාට තේරුණාම තාත්තා මගෙන් ඇහැව්වේ පුතේ උබ යනවද කියලා. අම්මා විශ්ව විද්‍යලයට තේරුණ සතුට විඳිනකොට තාත්තා ඒක යටපත් කරන් කල්පාන කළේ, මම කොහොමද දුර ගිහින් තනියෙන් වැඩ කරගන්නේ කියන එක.
මෑත කලයේදි තාත්ත මම වැඩ ඇරිලා ගෙදර එනකොටම අහන්නේ පුතේ වෙලාව කීයද කියලා. මුලින් මුලින් මම අහනකල් ඉදලා වෙලාව කිව්වත්. පස්සේ මම ගෙදරට එන්නේම තාත්තේ දැන් වෙලාව මේකයි කියාගෙන. අන්තිම මාසේදි විතර, මම කොම්පියුටරයේ වැඩ කියලා දැන ගත්තාම ලයිට් එක දාලා තියනකොට, පැයෙන් පැයට වෙලාව ඇහැව්වා. ගොඩක් දාට මම ඒ අහන හැම වෙලාවේදිම වෙලාව කියනවා. ඒත් සමහර දාට විහිලුවට තාත්තේ මම ඊලඟ පාර අහනකොට දෙකම එකට කියන්නම් කියලා පැයකට කල් දානවා.
ඉරිදා , නොවැම්බර් 13 වෙනිදා, උදේ පිරිසිදු කරලා පුටුවෙන් තියලා, දවල් ආයිත් පිරිසිදු කරලා ඇඳෙන් තිබ්බා. රැ 8 විතර ආයිත් පිරිසිදු කරලා කාමරයට එක්ක යන ගමන්. අම්මා කිව්වා තාත්තව පුතා අල්ලන් යනවා, මං පුතාගේ කලිසම වැටෙන කොට අල්ලන්න පස්සේන් යනවා කියලා . ඔහොම කියලා යන්න හම්බුනේ සාලේට ඇතුල් වෙන තැනට විතරයි. කිහිලි දෙක අස්සෙන් අත් දෙක දාගෙන අල්ලන් ගිය තාත්තා එක පාරට මගේ අත් දෙකේ එල්ලුනා එයාගේ අත් දෙක වකුටු උනා.
තාත්තා මාව දාලා යයි කියලා පොඩි කාලේ තාත්තා නැගිටින කොට නැගිට්ටා වාඩි වෙනකොට වාඩි උන මගේ තාත්තා මාව දාලා ගිහින්, අද මට කීය දිලා උනත් අච්චරු ගන්න පුලුවන්, එත් මට රුපියල් දෙකක් දෙන්න මගේ තාත්තා අද මා ලඟ නැහැ. රිමාකෝ එකෙන් ටි බනිස් ගෙඩියක් ගන්න උඩ සාක්කුවට අතදාලා රුපියල් දහයක් දුන්නු මගේ තාත්තා මං ලඟ නැහැ.
මේ තියෙන්නේ මම කාලෙකට කලින් මගේ තාත්තා ගැන කියපු දේ
http://wapnishantha.blogspot.com/2010/09/blog-post_26.html
එදවස මා නොවෙද, ඔබ අත්ලේ එල්ලී දැවටුනේ
මෙදවස මට බැරිද, මා අත්ල දවටන්න ඔබ සිතේ
සැමදා පුදන්නට ඔබ පා, හැකිය මට දැන් සිත් සේ
මුමුණන්න අවසරයි , ඔබේ පෑ ගුණ කඳ රිසි සේ
වැප්