Wednesday, February 29, 2012

පරලොවක් ඇත්තේද නැත්තේද?

ඔය පහුගිය ටිකේ නෙට් එකේ ලින්කු දිගේ එහෙට මෙහෙට යනකොට ත්‍රිපිටකයේ සූත්‍රයක් හම්බ උනා පයාසි සූත්‍රය කියලා. මේ පහලින් තියෙන්නේ එහි සංෂිප්තයක්. කොච්චර රසවත් උපහරණ ගෙනහැර පලා තියනවද. මැවිලා පේන විදිහට කොතරම් රසවත්ද විස්තර කරනවද. ත්‍රිපිටකයේ සිංහල අනුවාදය තියන හින්දා දැන්නම් දිගටම කියවන්න හිතෙනවා. බලමු පරලොව අතිද නැති කියන එක ගැන කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ හා පයාසි රජතුමා අතර සංවාදයේ විස්තර වන විදිහ. ප්‍රශ්න අකාරයේ පහත සටහන ඉදිරිපත් කරන්නම්. උත්තර ඔබම තීරණය කරන්න. මීට වඩා ලස්සන ඉහත තියන ලින්කුවේ විස්තරයක් තියනවා. ඒක කියවන්න කියලා තමයි කියන්නේ. :DDD මෙහි පයාසි රජතුමා කරුණු ගෙන හැර දක්වන්නේ පරලොවක් නැතැයි කියන්නයි. කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේත් නිදසුන් මගින්ම පරලොවත් ඇතැයි පහදා දෙනවා. ඔය අතරේ පොඩි පොඩි විද්‍යා සංකල්පයකුත් තියනවා.

පයාසි රජතුමා - පස් පව් කරන අය නිරයට යනවානම් නිරයට ගියා කියලා ඇවිත් කියන්නේ නැහැනේ?
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - මරණ දඩුවම නියම වෙච්ච කෙනෙක් වදකයට කිව්වොත් මගේ නෑයන්ට කියලා එන්නම් කියලා යන්න දෙනවද?

පයාසි රජතුමා - මැරුණාට පස්සේ දිව්‍ය ලෝකේ යන අය ඇවිත් කියන්නේ නැහැනේ එහේ විස්තර?
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - අසූචි වලක වැටිලා හිටි මනුස්සයෙක් සුවඳ පැනින් නහවා සුවඳ ගන්වා සුඛෝප බෝගි විදිහට ඉන්න සැලැස්සුවොත් ඔහු හෝ ඇය නැවත අසූචි වලට එනවද?

පයාසි රජතුමා - කරන ලද කුසල අකුසල කර්මයන්හි පල ප්‍රතිවිපකා කවුරත් ඇවිත් කියන්නේ නැහැනේ?
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - මනුෂ්‍ය ලෝකේ වර්ෂ සීයක් තව්තිසාවේ වැසි දෙවියන්ගේ එක් රැයක් හා එක් දවාලක් නම් ඇවිත් කියන්න පුලුවන්ද එහේ විස්තර?

පයාසි රජතුමා - කවුද කිව්වේ වැසි දෙවියන්ගේ එක් රැයක් හා දවාලාක් මෙහේ අවුරුදු සීයක් කියලා?
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - අන්ධ මනුස්සයෙක් කිව්වොත් ඉරයි හඳයි නැහැ කියලා? ඒක ඇත්තද බොරුද?

පයසි රජතුමා - සිල් රකින ගුණ ගරුක සිල්වතෙක්ව මරණ්නට හිතෙනවා එතකොට එතුමා දිව්‍ය ලෝකේ ගිහින් සැප විඳියිනේ. එත් ඔවුන් කියනවා ඔවුන්ව මරන්න එපා කියලා
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - එතුමන්ලා ජීවත්ව සිටින තාක් කල් පින් රැස් කරනවා.

පයාසි රජතුමා - මිනිහෙක් මරණකොට හොඳට සම්වලින් වෙලලා හැලියක දාලා වහලා ලිපේ තියලා රත් කරලා මරනවා. මැරුණාට පස්සේ හැලිය ඇරලා බලනකොට පිට වෙන ජීවිතයක් දකින්න නැහැනේ?
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - හීන දකිනකොට ක්ෂනයෙන් පොකුණු කඳු ආදිය දකින්න මෙන්ම වෙනත් ඕනෑම තැනකට යන්න පුලුවන් . ඒත් ඒ අපි යන එන දේවල් නොනිදා ඉන්න අයට පේනවද? නිදි ඔබත් ඇහැරි ඉන්න අනික් අයත් ජීවත් වෙලා ඉන්ඩැද්දි ඒ ඇතුල්වන පිටවන එක නොදැක, මැරුණ මනුස්සයෙක් ඇතුල්වන පිටවන තැන් කොහොම බලන්නද?

පයාසි රජතුමා - මිනිහෙක් මැරුණායින් පස්සේ හා කලින් බර කිරුවොත් මැරුණාට පස්සේ බර වැඩියි.
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - යකඩ ගුලික් රත් කරල ගිනියම් උනෑයින් පස්සේයි සීතල උනාට පස්සෙයි බර කිරුවොත් ගිනියම් වෙච්ච වෙලේ බර අඩුයි. ආන් ඒ වගේ තමයි ආයූෂයි උෂ්නයයි තියනවා නම් බර අඩුයි.

පයාසි රජතුමා - මිනිහෙක් උඩුකරු කරලා මැරුවත් දකින්නේ නැහැනේ ජීවයක් නිකුත් වෙනවා?
කාශ්‍යප මහ රහතන් වහන්සේ - හක් ගෙඩියක් ගැන නොදන්න පිරිසක් මැද්දේ හක් ගෙඩියෙන් සක් නාදය පිටකර පැත්තකට වෙලා බලා හිටපුවාම. ඒ නොදන්න පිරිස ඒ හක්ගෙඩිය ඒ මේ අත කරකවමින් හක් ගොඩියට යාඤ්ඤා කරනවා සද්දේ වරෙන් වරෙන් කියලා. නමුත් අර මුලින් හක්ගෙඩිය පිම්බ මිනිහා ඒක නැවත පිබලා පෙන්නුවාම අර මිනිස්සුන්ට තේරුම් යනවා, හක් ගෙඩිය කවුරු හරි එක්ක සම්බන්ද වෙච්චාම හෙවත්, උත්සහා කරලා හුලං වලින් පිම්බාම තමයි ඒ සද්දේ එන්නේ කියලා. ආන් ඒ වගේ තමයි උෂ්නත්වය විඤ්ඤානය හා ආයූස තියන කල් ජිවිතය තියනවා එකක හෝ අඩුවක් කියන්නේ මරණයට පත්විම.

පයාසි රජතුමා -මිනිහෙක් අල්ලං ඇවිත් වද දුන්නට ජීවිතයක් දකින්නේ නැහැනේ?
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - එක්තරා පෙදෙසක ජීවත් වෙන ගිනි පුජා තියන ජටිලයෙක් නගරයට යනවා ලමයව ආස්‍රම යේ තියලා. ගිනි ගොඩ නිවා ගන්න එපා කියලා. නමුත් ඒ ළමයාගේ ගිනි ගොඩ නිවෙනවා එක එක සෙල්ලං දාන්න ගිහින්. ලමයා බලන් ඉන්නවා ගිනිගොඩ පත්තු වෙනකල්. නමුත් ආපසු පැමිනෙණ ජටිලයා කියනවා බලං ඉදලා හරියන්නේ නැහැ මෙන්න මෙහෙම දරකෑලි එකට අතුල්ලන්න ඕනේ කියලා. ආන් ඒ වගේ තමයි නුවණින් තර්කයෙන් පරලොව හොයන්න බැහැ

ඊට පස්සේ කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ පැහැදිලි කරනවා පරලොවක් නැතැයි කියන දෘෂ්ටිය අල්ලන් සිටිම නුවණට හුරු නැහැකියලා. ඒක ගැන ලස්සන කතා තුනක් කියනවා. එකක් අපි දන්න අර කාන්තරයේ ගැල් පන්සීය ගානේ යන කතාව. තව එකක් වේලිච්ච අසූචි ගොඩක් කර තියන් යන ව්‍යපාරිකයෙක් ගැන. අනික වැඩකට නැති හණ මිටියක් ගෙදර අරන් යන යාලුවෙක්ගේ කතාව. ඒ කතා තුන බලන්න මේ ලින්කුවට යන්න.


පාසාදික සූත්‍රයේ පරලෝකය පිළිබඳව චුන්දික ස්ථවීරට බුදුරජානන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරති

සමහරු අහනවා පරලොවක් තිබේද නැද්ද කියා. එවිට මහනෙණි ඔබ පිළීතුරු දෙව // පර ලොව සෙවිම අර්ථයෙන් යුක්ත නොවෙයි. එය නිවනට මාර්ගය නොවෙයි එහෙයින් එය භාග්‍යවතුන් වහසන්සේ ප්‍රකාශ නොකරන ලද්දේය \\ කීයා


වැප්

35 comments:

  1. මිනිහෙක් අල්ලං ඇවිත් වද දුන්නට ජීවිතයක් දකින්නේ නැහැනේ කියන එක විතරක් තේරුනේ නෑ.. අනිත් ඒව බෙහොම සරලව ලියල තියනව.. අර ලින්ක් එකට ගිහිං බැලුවා.. ඒව ටිකක් ගැඹුරින් ලියවිලා තියන නිසා කියවන්න කම්මැලි ගතියක් එනවා.

    ReplyDelete
  2. නියමයි...වැදගත් ලිපියක් වැප්

    ReplyDelete
  3. ඇමරිකන් බයිලා.. උපන්නා.. මලා.. එපමණයි..

    ReplyDelete
  4. පරලොව ගැන හිතන එක නම් හොඳයි පුතේ...

    ReplyDelete
  5. වැපාට මේ ආත්මෙන්ම නිවන් යන්න ලැබේවා!!!! මචන් සත්‍ය අවබෝධ උනොත් අපිටත් කියල දීල නිවන් පලයන්.....:D

    ReplyDelete
  6. "කවුරුන් කීවත් විමසාපන්නේ!"

    ReplyDelete
  7. බොහොම වැදගත් ලිපියක්. අපිත් එක්ක බෙදාහදා ගත්තට ගොඩක් ස්තූතියි

    ReplyDelete
  8. මිනිහෙකුට කන්න වේලක් දෙනවටඩා එක බණ පදයක් කියා දීම වැදගත් වැපෝ..ඒත් අන්ධයින්ට පාට ගැන කියා දෙන්න යනවනං හොඳ ඉවසීමකුත් ඕන..ඒ ඉවසීම නැත්තං ඔව්වා කියා දෙන්න යනවට වඩා හොඳයි පාඩුවේ ඉන්න එක..අඩුම ගානේ තමුන්ගේ හිත කලකිරීමට හෝ පසුබෑමට ලක් වෙන්නේ නැහැ...කොයි කාලෙත් ඔය ප්‍රශ්න තිබුනා..ඒත් ඒ හැම කාලෙම උඹ වගේ උනුත් හිටියා...උඹ එහෙමනං අන්ධයින්ට පාට කියා දීහං...හැබැයි බැනුං අහන්නත් අන්ධයින්ගේ ගර්හාවට ලක් වෙන්නත් ලෑස්ති වෙයං...

    මි හිතන්නේ මීට වඩා උඹට හිතේ සැනසිමට හිටී අර තාත්තා ලියලා තිබුන පොත් ටික කියවන එක...

    ReplyDelete
  9. වැපා දැන් එක විදිහක්......

    ReplyDelete
  10. "- දෘෂ්ටිය - අල්ලන් - සිටිම - නුවණට - හුරු - [නැහැ] "

    දෘෂ්ටිය = ?
    අල්ලන් = ?
    සිටීම = ?
    නුවණට = ?
    හුරු = ?

    ReplyDelete
  11. ඔබේ ලිපියට ස්තුතියි. කොහොමත් බෞද්ධාගමිකයන් විදියට අපි පරලොවක් තියෙනවා කියලා විෂ්වාස කරනවනේ. මේක අපූරු පැහැදිලි කිරීමක් කියලයි මට නම් හිතෙන්නේ.
    මේ වගේ සංසිද්ධි ගැන විද්‍යාත්මකව හොයලා බලපු ඇමෙරිකානු මහාචාර්යවරයෙක්ගේ පොතක් මට ලඟදි කියවන්න ලැබුණා. ඒකෙ නම "Many Masters, Many Minds". කැමති කෙනෙක් ඉන්නවා නම් හොයාගෙන කියවන්න. ඒක කියෙව්වාම තවදුරටත් දේවල් පැහැදිලිව තේරෙන්න පටන් ගන්නවා කියලයි මට නම් හිතුණේ. මොකද ඒක පාඨකයව හිතන්න පොලඹවන විදියට ලියලා තියෙන නිසා.
    එතුමාගේ වෙබ් සයිට් එක: http://www.brianweiss.com/
    මේ වගේ ලිපි ලියලා ඔබ අනික් අයට සාරවත් යමක් දෙන්න හදන උත්සාහ මම අගය කරනවා.

    ReplyDelete
  12. ඕක ගැන වෙනත් කථාවක් තියෙනව මජ්ජිම නිකායෙ තුන්වන පන්නාසකේ තුන්වන ාහා් හතරවන සූත්‍රයෙ.
    ඒකෙ බුදු හාමුදුරැවෝ පවු ගෙවා අවසන් කරන්න උත්සාහ කරන කෙෙෙකුගෙන් අහනව මෙලොව පරලොව තියෙනබව ඔබ දන්නවද කියල. ඔහු කියනව දන්නෙ නෑ කියල. එතකොට බුදුහාමුදුරැවො අහනව නොදන්නා දේ ගැන මොකටද අයිසෙ කරදර වෙන්නෙ කියල.

    ReplyDelete
  13. <<>>

    ඇල්ෆ්‍රඩ් නානායක්කාර : කවුද කියන්නේ පියාඹන ස්ෆැගටි රාක්ෂයා බියර් වැඩි වෙච්චි වෙලාවක ලෝකය මැවුවා කියලා??

    බුද්ධික තාඹුගල : අන්ධ මනුස්සයෙක් කිව්වොත් ඉරයි හඳයි නැහැ කියලා? ඒක ඇත්තද බොරුද?

    ReplyDelete
  14. මෙහි සියළුම පිළිතුරු වලින් පෙනී යන්නේ පායාසි රජතුමා "පරලොවක් නැතැයි" කියන්නට ගෙනා තර්ක මෝඩ තර්ක බව මිසක් පරලොවක් තිබෙන බව නෙමෙයි.. පරලොවක් නැති බවට "පායාසි රජතුමා ගෙනා තර්ක මෝඩ ඒවා වීමෙන්" "පරලොවක් තිබෙන බව ඔෆ්ෆු වෙනවා" කියා හිතීම ලොකුම ලොජිකල් එරර් එකක්.. ඔය පිළිවෙලට මටත් පුළුවන් "පියාඹන ස්ෆැගටි රාක්ෂයා නැතැයි" මෝඩ තර්ක ටිකක් හදල, ඒ තර්ක මෝඩ තර්ක බව "ඔප්පු කරලා" එනයින් "පියාඹන ස්ෆැගටි රාක්ෂයා ඉන්නවා" කියල හඟිස්වන්ඩ.. එයින් මම මොකක් හරි ඔප්පු කලා වෙනව ද?

    පරලොවක් නැතැයි දෘෂ්ටියක් ලෙස ගැනීම වැරදියි කියන අදහසට 250%ක් එකඟයි.. ඒත් එහෙම කියල පරලොව තියෙනව කියල දෘෂ්ටියක් ලෙස ගත්තහම හරි ද? හොඳම දේ ඒ ගැන කිසිම දෘෂ්ටියක් නොගෙන (මේ මම් වගේ ) ඉඳීමයි.. "පරලොව තිබෙන බව" මම විශ්වාස කරන්නෙ නෑ.. ඒ එහෙම විශ්වාස කරන්ඩ තරම් සාක්ෂි නැති නිසා.. එයින් අඩහස් කරන්නෙ නෑ "පරලොව නැති බව" මම විශ්වාස කරනව කියල.. "තිබෙන බව විශ්වාස නොකිරීම" කියන්නෙයි "නැති බව විශ්වාස කිරීම" කියන්නෙයි දෙකක්.. තිබෙන බව මෙන්ම නැති බවත් මම විශ්වාස නොකර ඉන්නේ ඒ එකක්වත් කන්ෆර්ම් කරන්ඩ සාක්ෂි නැති හින්දා..

    ReplyDelete
  15. ඕනෑම ආගමක ආගමික සාහිත්‍යයෙහි යම් ප්‍රමාණයක් සත්‍ය හා යම් ප්‍රමාණයක් මිථ්‍යාව එකට වෙළී පවතී. මේවා පිළි ගැනීම හා නොගැනීම කෙනෙකුගේ බුද්ධි මට්ටම, උගත්කම වැනි කාරණා නිසා වෙනස් වේ. සාමාන්‍යයෙන් තමන් අදහන ආගම 100%ක් නිවැරදි සේ දැකීම ඕනෑම ආගමිකයකුගේ සිරිතයි. එහි වරදක් නැති අතර ඊට අභියෝග කිරීම අනවශ්‍යය. ආගමික විශ්වාස යනු පුද්ගලික දේවල්ය.

    පරලොව ගැන කියන්නේ නම් වාච්‍යාර්ථයෙන්ම "පර" යනු අනුන්ය. අනුන්ගේ ලොවක් තියෙනවාද නැද්ද යන්න අපට කිව නොහැකිය. විශ්වයේ තවත් ග්‍රහලෝකයක හෝ පෘථිවියේම ඇති ජීවය අප බුද්ධිමත් ජීවය සේ හඳුනා ගන්නවා නොවිය හැකිය. අනෙක පෘථිවියේ සිදුවූ ආකාරයට අනෙක් හැම තැනෙකම පරිණාමය විය යුතු යැයි නියමයක් නොවේ. එනිසා පරලොවක් නැතිය කියා නිගමන වලට එළඹීම මෝඩකමකි. නමුත් අනෙක් අතට බුද්ධික තාඹුගල කියන්නාක් සේ යමක් නැතිය කියා ඔප්පු කළ නොකැඉ පමණින් එවැන්නක් ඇතිය කියා නිගමනයක් නොවේ. බර්ටන්ඩ් රසල් මේ තර්කයේ හිස් බව මීට බොහෝ කාලයකට පෙර පැහැදිළි කොට තිබේ. බලන්න. http://en.wikipedia.org/wiki/Russel%27s_Teapot

    ReplyDelete
  16. පරලොවක් ඇත්තේද නැත්තේද?
    මචන් මට තේරෙන විදියට නම් මේ වගේ ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ දර්ශනයේ, එහෙමත් නැත්තම් ආගමේ, මේ වගේ ප්‍රශ්න වලට තවමත් විද්‍යාවේ උත්තර නෑ. ඒ ඒ ආගම් වලින් කරන්නේ මේ ප්‍රශ්න වලට තමන්ගේ ශාස්තෘ වරයා දුන්න උත්තර මිනිස්සුන්ට කියන එක. මිනිස්සු කරන්නේ අන්ධ භක්තියෙන් තමන් අදහන ආගමෙන් මේ ප්‍රශ්න වලට දීපු උත්තර පිළිගන්න එක. උත්තර නැති ප්‍රශ්න වලට උත්තර හොයනවට වඩා තමන්ගේ ආගමෙන් මේ ප්‍රශ්න වලට දීපු උත්තර පිළිඅරගෙන ජිවත් වෙන එක පට්ට ලේසියි.

    ReplyDelete
  17. මගෙ නැණ පමණට බර වැඩියි වගේ...

    ReplyDelete
  18. අපේ තාත්තා ගේ හත්දවසේ බණට ආපු සාදු කිව්ව විදියට නං මැරුණු උං සේරම මලපෙරේතයෝ වෙලා ගේ දොරකඩට වෙලා බලං ඉන්නවා පින් ගන්න.

    බණ, බුදු බණ, වැදි බණ අතරේ එදා බණ නං හොම්බට අණින බණක්.

    මේ ගැණ මං ලිව්වා 2011 අප්‍රියෙල් මාසේ දවසක.

    ReplyDelete
  19. "කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - යකඩ ගුලික් රත් කරල ගිනියම් උනෑයින් පස්සේයි සීතල උනාට පස්සෙයි බර කිරුවොත් ගිනියම් වෙච්ච වෙලේ බර අඩුයි. ආන් ඒ වගේ තමයි ආයූෂයි උෂ්නයයි තියනවා නම් බර අඩුයි."

    මේක පට්ට බොරුවක් නෙ. වාද කර දිනන්නට බුද්ධිය අවශ්‍ය නමුත් ප්‍රමාණවත් නොවේ. එකක් බොරු නම් අනෙක් ඒවා ගැන කියනුම කවරේද?

    ReplyDelete
  20. “මිලින්දප්‍රශ්නය” කියවල තියෙනවද? මිලින්ද රජතුමා සහ නාගසේන හාමුදුරුවො අතර වාදය.
    “පානදුරේ වාදය” ඇතුළු පංචමහාවාදය කියන පොතත් හරිම රසවත්.
    මේ වාද වලදි හැබැයි සත්‍යයම නෙවෙයි, තර්කයෙන් ජය ගත් අවස්ථා තියනව.

    ReplyDelete
  21. ඉස්කෝලෙ හතේ අටේ පන්ති වලදි මගෙ යාළුවෙක් හිටිය හැමදාම පන්තියෙ 1 වෙන. ඒත් වතාවක් මිනිහ 2 වුණා. ඒකට පොරට තද වෙලා හිටියෙ. ඔය කාලෙ මිනිහට තිබුණ werewolf පිස්සුවක්. ඔය ඩ්‍රැකියුලා පොත් කියවලා. ඉතිං පොරට ඕන වුණා අර 1 වුණ එකාගෙ බෙල්ල කපලා බෙල්ලට සිලි මල්ලක් තියලා මැරුණ එකාගෙ හුස්ම පිටවුණාම මල්ලට එකතු කරගෙන ගිහින් වෘකයෙක්ට ඒ හුස්ම දෙන්න.

    පොරට උවමනා වුණේ 1 වුණ කොල්ලව ලේසියෙන් වෘකයෙක් කරන්න. ඌ එතකොට 8 වසරෙ. ඒත් ඌ දැනගෙන හිටිය ඒක කරන්න බැරි බව...

    කියවගෙන ආවම හිතුණ දේවල් කමෙන්ට් වල තියෙන නිසා මේ වගේ පරණ කතාවක් කියල දානවා...

    මොනව වුණත් උඹ දීල තියෙන ලින්ක් එකට ගිහින් කවුරුවත් ඕව කියවයි කියල හිතන්න අමාරු නිසා අහුවෙන හොඳ එව්වා ඉඳල හිටල මේ වගේ දාමු !

    ReplyDelete
  22. අපූරු උපමා කතා ටිකක්, යමක් තේරුම් ගන්නවා නම් මේ ටික හොඳටම ඇති!

    ReplyDelete
  23. මට මෙන්න මෙහම ගැටළුවක් මතු වෙනව දැන්. පරලොවක් ගැන කතා කරන්නෙ බුද්ධාගම විතරක් නෙවෙයි. ක්‍රිස්තියානි පරලොවකුත් තියෙනව. ඉස්ලාම් පරලොවකුත් තියෙනව. යුදෙව් පරලොවකුත් තියෙනව මගෙ හිතේ. ඔය තර්ක සෙට් එකම පාවිච්චි කරල මේ හැම පරලොවක්ම වෙන් වෙන් වශයෙන් තියෙනව කියල ඔප්පු කරන්න පුළුවන්. ඔතැන බුද්ධාගමේ පරලොවක් කියල විශේෂයෙන් සඳහන් වෙලා නැහැනෙ. ඉතින් හැම එකකටම අදාළයි.

    මගේ ප්‍රශ්න මේවායි.

    1. ඔය හැම ආගමටම වෙන වෙනම පරලෝක තියෙනවද? නැත්නම් තියෙන්න බුද්ධාගමේ පරලොව විතරද? (අනෙක් අයත් ඒකටද යන්නෙ, දන්නෙ නැතුවට?)

    2. ආගම් වලට වෙන වෙනම පරලෝක තියෙනව නම් හොඳම එක අපි තෝර ගන්නෙ කොහොමද? (හැමෝම එක වගේ සිරා මාකටින් පාරවල් කරල තියෙන නිසා)

    3. ඉස්ලාම්, ක්‍රිස්තියානි හා යුදෙව් පරලෝක නැහැ කියල කවුරු හරි කියනව නම් අන්ධයාට ඉර හඳ පේනවද කියන තර්කයෙන්ම හරියටම කියන්නෙ කොහොමද ඒව නැහැ කියල. (තියෙන්නෙත් පුළුවන්නෙ.)

    කරුණාකර දන්නා කෙනෙක් කියල දෙන්න.

    ReplyDelete
  24. @සියල්ලටම

    පාසාදික සූත්‍රයේ පරලෝකය පිළිබඳව චුන්දික ස්ථවීරට බුදුරජානන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරති

    සමහරු අහනවා පරලොවක් තිබේද නැද්ද කියා. එවිට මහනෙණි ඔබ පිළීතුරු දෙව // පර ලොව සෙවිම අර්ථයෙන් යුක්ත නොවෙයි. එය නිවනට මාර්ගය නොවෙයි එහෙයින් එය භාග්‍යවතුන් වහසන්සේ ප්‍රකාශ නොකරන ලද්දේය \\ කීයා

    සූත්‍ර වල තියන සාහිත්‍ය රසය නිසාම කියවන්න කියවන්න ආසා හිතෙනවා. මම ඕවා ගැන තීරණයක් දෙන්න තරම් ගැබුරට අධ්‍යනය කරපු කෙනෙක් නෙමෙයි.

    හැබැයි අපි උපතින් බෞද්ධ එහෙම නැත්නම් උප්පැන්න බෞද්ධයෝ උන නිසාම නිදහසේ නිදහසේ හිතන්න පුරුදු වෙලා තියනවා. බුදුහාමුරුවේ කිව්වයි ත්‍රිපිටකයේ සූත්‍රවල තිබ්බිය කියලා පිළීගන්නේ නැහැ. මම දන්න දේ තමයි මට සත්‍යය. හැබැයි හමෝම මෙහෙම නැහැ වෙන කවුරුහරි කියපු එකක් ඒ විදිහට පිළීපදිනවා. ඒ අතින් බෞද්ධයන්ව හිර කරලා බැඳලා බුද්ධ දේශනාව පිළීගනිං කියලා නැති නිසාම කොච්චර නිදහසේ අප සිතනවද?

    බෞද්ධයෙක් වීමෙන් ඇති ඵලය තමයි නිදහසේ හිතන්න දීපු ඉඩ :DDDD

    ReplyDelete
  25. /බුදුහාමුරුවේ කිව්වයි ත්‍රිපිටකයේ සූත්‍රවල තිබ්බිය කියලා පිළීගන්නේ නැහැ/

    ඒ කියන්නෙ "බෞද්ධයෝ" පිළි ගන්නවද බුදු හාමුදුරුවො කියපු සමහර දේවලුත් ඇත්ත නෙවෙයි කියලා?

    ReplyDelete
  26. /හැබැයි අපි උපතින් බෞද්ධ එහෙම නැත්නම් උප්පැන්න බෞද්ධයෝ උන නිසාම නිදහසේ නිදහසේ හිතන්න පුරුදු වෙලා තියනවා. බුදුහාමුරුවේ කිව්වයි ත්‍රිපිටකයේ සූත්‍රවල තිබ්බිය කියලා පිළීගන්නේ නැහැ/

    මේක මෙහමමයි කියල මා හිතන්නෙ නෑ. "බෞද්ධයන්ට" පිළිගන්න නිදහස තියෙනවද බුදු හාමුදුරුවො කියලා තියෙනවා කියන මොකක් හරි බොරුය කියල? එහෙම දේකට උදාහරණයක් දෙන්න පුළුවන්ද?

    ReplyDelete
  27. මොකක්ද ඔය පරලොවයි දිවියලෝකෙයි කියල කියන්නෙ, අපේ ආච්චි කියල දීපු, අර පන්සලේ බුදුගෙයි ඇතුලෙ අඹල තියන එකද ?

    අපාය කොහොම වෙතත්, දිවියලෝකෙ තියන සැප විඳින්න අහවල් දෙයකටද මැරෙනකන් ඉන්නෙ. මොකෝ එහේ ඉන්නෙම හරිම හැඩ දිවිය අංගනාවො වගේ උන් මෙහත් ඉන්නව නොවැ. එකම වෙනස ඉතිං මෙහේ තප්පරේ එහෙ අවුරුද්දක් විතර වගේ නං ඉතිං විනාඩි පහේ වැඩේ අවුරුදු ගානක් කොරන්න ඇහැකි. මැරිල යයි නෙව !

    ReplyDelete
  28. උඹ නම් මහ අමුතුම බ්ලොගර් කෙනෙක් වැපා. මම උඹේ බ්ලොග් එක කියවන්න වෙලා මාස අටක් වගෙ ගෙවිලා ගියා. අපරාදෙ කියන්න බෑ උඹ බ්ලොග් පෝස්ට් හතරකට වැඩිය ලියලා නෑ මම හිතන්නෙ. මොනවද බං කරන්නෙ? පරලෝකෙ ගැන හිත හිතා ඉන්නවද?

    henryblogwalker the Dude

    ReplyDelete
  29. සුත්‍ර කියවීමට පටන් ගත් කල තව තවත් කියවීමට, වටහා ගැනීමට ආසා හිතෙන බවනම් ඇත්ත. බොහොම ස්තුතියි වැප්. මම මේ සංවාදය මින් පෙර කියවා තිබුණෙ නැහැ.

    ReplyDelete
  30. මෙතන තියන ගොඩක් තර්ක හරයක් නැති ඒවා. Logics වලදී මේවා හඳුන්වන්නේ Argument from Ignorance කියල.
    උදාහරණයත් වශයෙන් දේවවාදියෙක් "දෙවි කෙනෙක් නෑ කියල ඔප්පු කරල පෙන්න්ඩ බැරිනම් දෙවි කෙනෙක් ඉන්නවා" කියල ඉදිරිපත් කරන්නේ මේ තර්කයකයයි.

    ReplyDelete
  31. @Anonymous said...
    >>>>>>> "කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - යකඩ ගුලික් රත් කරල ගිනියම් උනෑයින් පස්සේයි සීතල උනාට පස්සෙයි බර කිරුවොත් ගිනියම් වෙච්ච වෙලේ බර අඩුයි. ආන් ඒ වගේ තමයි ආයූෂයි උෂ්නයයි තියනවා නම් බර අඩුයි."
    මේක පට්ට බොරුවක් නෙ. වාද කර දිනන්නට බුද්ධිය අවශ්‍ය නමුත් ප්‍රමාණවත් නොවේ. එකක් බොරු නම් අනෙක් ඒවා ගැන කියනුම කවරේද? >>>>>>

    ඇත්තටම බරේ වෙනසක් නැද්ද? බර කිරන්නේ සංවෘත පද්ධතියක් ඇතුලේ නෙවෙයි නම්, deoxidization ක්‍රියාවලියක් නිසා බර අඩුවෙන්ට බැරිද?

    ReplyDelete
  32. @Anonymous at March 1, 2012 9:49 AM
    >>>>> /හැබැයි අපි උපතින් බෞද්ධ එහෙම නැත්නම් උප්පැන්න බෞද්ධයෝ උන නිසාම නිදහසේ නිදහසේ හිතන්න පුරුදු වෙලා තියනවා. බුදුහාමුරුවේ කිව්වයි ත්‍රිපිටකයේ සූත්‍රවල තිබ්බිය කියලා පිළීගන්නේ නැහැ/

    මේක මෙහමමයි කියල මා හිතන්නෙ නෑ. "බෞද්ධයන්ට" පිළිගන්න නිදහස තියෙනවද බුදු හාමුදුරුවො කියලා තියෙනවා කියන මොකක් හරි බොරුය කියල? එහෙම දේකට උදාහරණයක් දෙන්න පුළුවන්ද? >>>>>>>>>>>>>>>>>

    ඔව්. කාලාම සුත්‍රය කියවන්න :)

    ReplyDelete
  33. වැදගත් ලිපියක්.අදමයි ආවේ...තේරුම් ගන්න දෙපාරක්ම කියෙව්වා..

    ReplyDelete
  34. මට දරා ගන්න අමාරුයි වගේ...

    ReplyDelete
  35. මෙව්වා දෙලොවටම වැඩක්වෙන වැඩ

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....