Tuesday, December 6, 2011

මගේ තාත්තා

ඉරිදා දහම් පසලේ තාත්තා ළමයින්ට උගන්වනවා. ඊට පොඩ්ඩක් එහායින් පොඩි පුටුවකුයි මේසෙකුයි තියලා මාව වාඩි කරලා. තාත්තා ඉඳගෙන මාත් ඉඳගෙන. කලු ලෑල්ලේ මොනවා හරි ලියන්න තාත්ත නැගිටින්න හදනවා. මම කල බල වෙනවා තාත්තා මාව දාලා යයි කියලා. මම තාත්තාට කලින් නැගිටිනවා. තාත්තා කලු ලෑල්ලේ ලියන දේ ලියලා ඉවර වෙනකල් මම මගේ තාත්තා දිහා නැගිටලා බලන් ඉන්නවා. මගේ හිතේ තියෙන්නේ තාත්තා මාව දාල යයි කියන බය. තාත්තා ආයිත් පුටුවේ ඉඳගන්නවා ඒත් මම ඉඳ ගන්නේ තාත්තා ඉඳ ගත්තාට පස්සේ. ටිකකින් තාත්තා පන්තිය වටේ යන්න නැගිටිනවා. පන්තිය වටේ ගිහින් පොත් බලලා එනකල්ම මම නැගිටලා. පස්සේ පස්සේ ඒ අයියලා අක්කාලා හැමෝම කිව්වේ තාත්තා නැගිටින කොට නැගිටිනවා ඉඳ ගන්නකොට ඉඳගන්නවා කියලා. මේ මට මතක විදිහට එක වසර හෝ ඒ ආසන්න කාලය.

තාත්තා පන්ති කලා, මේ වෙන කොට මම පහ වසරේ හෝ හතර වසරේ. පන්ති පටන් ගත්තාට පස්සේ මම යනවා එකොළහට විතර. පන්තිය පිටි පස්සෙන් ගිහින් මම තාත්තා දිහා බලන් ඉන්නවා. පොඩිම කාලේ තාත්තා මාව දාලා යයි කියලා තාත්ත කරන දේම කරපු මම දැන් බලන් ඉන්නේ රුපියල් දහයක් දෙනකල් මට. වෙන මොකටවත් නෙමෙයි ඉස්සරහා තියන රිමාකෝ එකෙන් මුද්දරස්පලන් දලා තියන ටි බනිස් ගෙඩි දෙකක් කන්න. සමහර දාට ගල් බනිස් එකයි ටි බනිස් එකයි. අදටත් මම පුදුම ප්‍රෙරේත කමක් තියෙන්නේ ටි බනිස් වලට. මාව දැක්ක ගමන් කමිසේ උඩ සාක්කුවට අත දාලා මට රුපියල් දහයක් දිලා කියනවා ළමයෝ මේක අරන් යන්න කියලා.

ඉරිදා දහම් පාසල් මාත් ගියා මේ මට මතක විදිහට හය හෝ හත වසර. අපිට විවේකය වෙන වෙලාවකට ධර්මාචාර්ය කරන අයට වෙන වෙලාවක. අපේ විවේකය වෙලාවෙදි මම තාත්තා උගන්වන පන්තිය ලඟට ගිහින් දැලේ එල්ලිලා බලන් ඉන්නවා. තනියම නෙමෙයි මගේ යාලුවෙකුත් එක්ක. නොදැක්ක ගානට මුලින් ඉන්න තාත්තා පස්සේ දැල අස්සෙන්ම මට රුපියල් දෙක්ක දෙනවා. යාලුවා එක්ක කෙලින්ම දුවලා එන්නේ අච්චාරු ගන්න. රුපියල් දෙකට කාපු අච්චාරු වල රහ මට දැනුත් මතක් වෙනවා.

තාත්තාගේ ඉස්කෝලය තිබුනේ වත්තල. මම හය වසරේ ඉඳන් ගියේ ගුරුකුලයට.  තාත්තා මාව ඉස්කෝලයට ඇරලලා පයින්ම යනවා බියගම පාරේ හතරේ කණුවට. ඉගෙනිමෙදි මගේ තාත්තා කවදාවත් බලපෑම් කලේ නැහැ, මට ඕන විදිහට කරන්න දුන්නා. හැබැයි තාත්තා උගන්වපු ගොඩක් ලමයි ශිෂ්‍යත්වයෙන් ඉහළින් පාස් වෙනකොට, මම ෆේල් වෙච්ච එක ගැන තාත්තා දුක් උනා කියලා මම දැන ගත්තේ පස්සේ කාලෙකදි. මගේ තාත්තා වැඩිය කතා බහ කරන්නේ නැහැ. ඕන දේ කිව්වා. එක පාරයි. මම දුර විශ්ව විද්‍යලාට තේරුණාම තාත්තා මගෙන් ඇහැව්වේ පුතේ උබ යනවද කියලා. අම්මා විශ්ව විද්‍යලයට තේරුණ සතුට විඳිනකොට තාත්තා ඒක යටපත් කරන් කල්පාන කළේ, මම කොහොමද දුර ගිහින් තනියෙන් වැඩ කරගන්නේ කියන එක.

මෑත කලයේදි තාත්ත මම වැඩ ඇරිලා ගෙදර එනකොටම අහන්නේ පුතේ වෙලාව කීයද කියලා. මුලින් මුලින් මම අහනකල් ඉදලා වෙලාව කිව්වත්. පස්සේ මම ගෙදරට එන්නේම තාත්තේ දැන් වෙලාව මේකයි කියාගෙන. අන්තිම මාසේදි විතර, මම කොම්පියුටරයේ වැඩ කියලා දැන ගත්තාම ලයිට් එක දාලා තියනකොට, පැයෙන් පැයට වෙලාව ඇහැව්වා. ගොඩක් දාට මම ඒ අහන හැම වෙලාවේදිම වෙලාව කියනවා. ඒත් සමහර දාට විහිලුවට තාත්තේ මම ඊලඟ පාර අහනකොට දෙකම එකට කියන්නම් කියලා පැයකට කල් දානවා.

ඉරිදා , නොවැම්බර් 13 වෙනිදා, උදේ පිරිසිදු කරලා පුටුවෙන් තියලා, දවල් ආයිත් පිරිසිදු කරලා ඇඳෙන් තිබ්බා. රැ 8 විතර ආයිත් පිරිසිදු කරලා කාමරයට එක්ක යන ගමන්. අම්මා කිව්වා තාත්තව පුතා අල්ලන් යනවා, මං පුතාගේ කලිසම වැටෙන කොට අල්ලන්න පස්සේන් යනවා කියලා . ඔහොම කියලා යන්න හම්බුනේ සාලේට ඇතුල් වෙන තැනට විතරයි. කිහිලි දෙක අස්සෙන් අත් දෙක දාගෙන අල්ලන් ගිය තාත්තා එක පාරට මගේ අත් දෙකේ එල්ලුනා එයාගේ අත් දෙක වකුටු උනා.

තාත්තා මාව දාලා යයි කියලා පොඩි කාලේ තාත්තා නැගිටින කොට නැගිට්ටා වාඩි වෙනකොට වාඩි උන මගේ තාත්තා මාව දාලා ගිහින්, අද මට කීය දිලා උනත් අච්චරු ගන්න පුලුවන්, එත් මට රුපියල් දෙකක් දෙන්න මගේ තාත්තා අද මා ලඟ නැහැ. රිමාකෝ එකෙන් ටි බනිස් ගෙඩියක් ගන්න උඩ සාක්කුවට අතදාලා රුපියල් දහයක් දුන්නු මගේ තාත්තා මං ලඟ නැහැ.

මේ තියෙන්නේ මම කාලෙකට කලින් මගේ තාත්තා ගැන කියපු දේ
http://wapnishantha.blogspot.com/2010/09/blog-post_26.html


එදවස මා නොවෙද, ඔබ අත්ලේ එල්ලී දැවටුනේ
මෙදවස මට බැරිද, මා අත්ල දවටන්න ඔබ සිතේ
සැමදා පුදන්නට ඔබ පා, හැකිය මට දැන් සිත් සේ
මුමුණන්න අවසරයි , ඔබේ පෑ ගුණ කඳ රිසි සේ


වැප්

39 comments:

රූ.... said...

“පිතු සෙනෙහෙ පුත් හදකටම හැර නැත වෙන හදකට දැනෙන්නේ..“
මේ පෝස්ටුව කියවලා මට මතක් වුනු කවිය වෙනස් කරන්න හිතුනා ඔන්න..ඔබවන් පුතකු ලද පියෙක් වාසනාවන්..!

තීර්ථ යාත්‍රිකයා said...

කියන්න වචන නෑ මචන්. ඇහැට කඳුලු ආවා.උඹට දැනෙන වේදනාව මට හොඳට තේරෙනවා.මොකද මමත් ඔය අත්දැකීමට ඔහොම්මම මූණ දීපු නිසා.ඒත් නොවැම්බර් මාසෙක..........

වැලිමැඩියා said...

දුකයි
හොඳට ලියල...

හසී said...

තාත්තා ලොකු ගහක් අපි ඒ යට ඉන්න පුංචි පැල.. හරිම සංවේදී සටහනක්... ඇස් වල කඳුළු.. අපිට නොපෙනනෙන්න කරන ඒ ආදරේ කොතරම්ද කියන්න මටවත් තේරෙන්නේ නෑ... :(

ලකී said...

මට නම් හිතෙන්නෙ උඹත් උඹගෙ තාත්තත් දෙන්නම වාසනාවන්තයි. තාත්තා වෙනුවෙන් කරන්න පුලුවන් හොඳම දේ එතුමා ජිවත් වෙලා ඉන්න කාලෙ උඹ කරලා තියෙනවා.එතුමත් උඹට නිවැරදි මග පෙන්වලා තියනවා. දරුවෙක් යහමග යනව තරම් සතුටක් පියෙකුට වෙන නැහැ.උඹ ඒ සතුට දීලා තියනවා. ආඩම්බර වෙයන් වැප්.

බුද්ධි said...

කියෙව්වෙමි!

Dar[K] said...

සංවේදී සටහනක්.

ariyananda said...

වැප්,
අපි හැමෝගෙම ජීවිත වල ලොකු සෙවනැලි දෙකක් තියෙනවා. ඒ අම්මා සහ තාත්තා.. අපේ ලෝකෙ විතරක් නෙවෙයි පොඩි එවුන් හැමෝගෙම ලෝකවල පළමු වීරයා වෙන්නේ තමන්ගෙ තාත්තා...
“අපේ තාත්තා ඔයාගෙ තාත්තට වඩා දක්‍ෂයි,වේගෙන් දුවන්න පුළුවන්, ඕනම දෙයක් කරන්න පුළුවන්“ තියලා පොඩි එවුන් තරඟ කරනවා තාත්තා “පොරක්“ කරන්න.. ඒ උන්ගෙ ලෝකය...
අපි ටික ටික ලොකු වෙනකොට ඒ ලෝකය වෙනස් වෙනවා. සමහර වෙලාවට ස්පයිඩර් මෑන් සුපර් මෑන් අපේ වීරයෝ වෙනවා..
තාත්තලා ඒ දිහා උපේක්‍ෂාවෙන් බලාගෙන ඉන්නවා.. දුකක් නෑ තමන්ගේ වීරත්‍වය අහිමි වුනා කියලා... ඒ තාත්තලගෙ හැටි.
සතුටු වුනා කියලා පිටට පෙන්නන්නෙවත් දුක් වුනා කියලා අඬන්නෙවත් නෑ... ගලක් වගේ හිටියට හිත වෙඬරු පිඬක් වගේ මොලොක්... දරුවන් වෙනුවෙන් කරන්න තියෙන ඕනම දෙයක් කරන්න පසුබට වෙන්නෙත් නෑ....
අපට ඒ අගේ තේරෙන්නෙ තාත්තලා අපෙන් ඈත් වුනාම හෝ තමන් තාත්තෙක් වුනාම... පැටියා ඉපදුන වෙලේ මම ඉස්සෙල්ලම කතා කළේ මගේ තාත්තට... ගොඩක් වෙලා කතා කළා.... තවමත් හැම වෙලාවෙම කතා කරන්න පුළුවන් නම් කියලා හිතෙනවා...
තාත්තා තවමත් මගේ ලෝකෙ වීරයෙක්.... ඉස්සර වගේම.. ගෙදරට කතා කරන හැම වොලවෙම මම තාත්තට කතා කරනවා...
මගේ සිතිවිලි මේ තරම් නිවහල්ව තියාගන්න පාර පෙන්නුවෙ තාත්තා...
වැප්ගෙ තාත්තා වැප්ව හොඳට හදලා තියෙන එකෙන්ම තාත්තගේ මඟපෙන්වීම සිතාගන්න පුළුවන්...
ඉස්සරහටත්, තාත්තගෙ ඒ හොඳ නම ඉදිරියට ගෙනියන්න... ඒකයි අපට කරන්න පුළුවන් එකම දේ...
එතුමාට නිවන් සුව... !

ඇල්කෙමියා.

Beetle said...

ජීවිතේ පළවෙනිවරට බ්ලොග් පෝස්ට් එකක් කියවා ඇඬුණි...

මාරයාගේ හෝරාව said...

මොනවා කියන්නද..?

උඹේ තාත්තා නැති වෙලයි කියලා දැන ගෙන පැය කිහිපයක් ඇතුලත මමයි සිහිනයි එහෙට ආව වෙලේ උඹ කියාපු කතාව මමයි සිහිනයි කොහේවත් දිග ඇරියේ නැහැ...

ඒත් ඒ ටික දිග ඇරෙන්න ඕන කොතැනදී හරි...මං හිතන්නේ මටත් වඩා ඒකට සුදුසු පුද්ගලයා සිහින...

උඹ හොඳ පුතෙක්..එච්චරයි..හොඳ තාත්තෙකුගේ හොඳ පුතෙක්...

නලිනි චන්දිමා said...

මොකක් කියන්නද? හිත ඇතුළෙන්ම ගලාගෙන ආව හැඟුම් පෙළක්. ඔබේ පියාණන්ට යහපතක්ම පතමි.

ලොකු පුතා said...

පෝස්ට් එක කියෙව්වට පස්සේ මගේ දුකත් ආපහු අලුත් උනා...
අර උඩ කමෙන්ට් එකකත් කියවුනා වගේ උඹ තාත්තට යුතුකම් ඉෂ්ට කරලා තියෙන පුතෙක්
මම දුක වෙන්නේ මට ඔය යුතුකම් මුකුත් කරගන්න බැරි වෙච්ච එක ගැන

පියතුමාණන්ට නිවන් සුව....!!

ඕනයා said...

අමතක කරන්න එපා අම්මගේ ආදරේ උල්පත ගලනවා වගේ පැහැදිලියි පෙනෙනවා සද්දයි.. තාත්තගේ ආදරේ හුස්ම ගන්න වායුව වගෙයි පෙනෙන්නේ නැහැ අපි අවට පිරිලා තියෙනවා අපි කවදවට් දකින්නේ අගේ කරන්නේ නැහැ. නැති උන දාට හුස්ම හිර වෙනවා.

වින්චැට්කිරිල්ලි. said...

මම තාත්තල ගැන ලියන පෝස්ට් බලන්නෙ නැහැ...!

Mayya said...

දුවලගේ ප්‍රථම ආදරයයි....පුතාලගේ ප්‍රථම වීරවරයයි තාත්තා කියලා කියනවා....ප්‍රිය විප්‍රයෝගෝ දුක්ඛෝ..තාත්තත් එහෙම දහම පාසලේදි උගන්නල ඇති...ඒ කරපු හොද දේවල් හැමදාම මතකයන් විදිහට තියෙවී.......

108543860788859599679 said...

එතුම අවසන් හුස්ම හෙලුවෙ ඔබෙදෑතෙ. පුතෙකුට සැනසෙන්ට එයම ඇති. අද දවසේ පියා ලඟ ඉන්ට නැති දරුවො කොපමනක් නම් ඇතිද?

පූසා said...

:(

AmilaArt said...

මාරම සන්වේදි ,
නිවන් සුව පතමි

Podi Kumarihami said...

ආදරය කරන අයගෙන් වෙන්වීම හැම තිස්සෙම දුකක්. විශේෂයෙන් දෙමව්පියන්ගේ.:(

පියාට නිවන් සුව පතනවා.

Pasan said...

වැපා..
තව දෙයක් තියනවා.. තාත්තා සිස්සත්ව පංති කරද්දි උඹ ගුරුලේත්තුවට වතුර පුරවලා ගෙනත් තියන එක.. :-D

මාත් උඹලගෙ පියානන් ගුරුවරයෙක් හැටියට කොයි තරන් හොදයිද කියලා අහලා තියනවා.. දන්නවනේ ඒ කොහොමද කියලා..

පියානන්ට නිවන් සුව ..!!

අභීත said...

කියන්න වචනයක් නෑ මචන්.... නිවන් සුව අත්වේවා කියලා තමයි කියන්න වෙන්නේ..

වැලිකෙලියේ පටන්ම කරලා තියෙන්නේ තාත්තාගේ දත ගලවපු එක...

හිස් අහස said...

තාත්තා කියන වචනේ පවා මටනම් හරිම නුහුරුයි . පුංචිම කාලේ ඔය වචනේ මගේ කටින් පිට වුණාට පස්සේ ආයේ ඒ වචනේ මම කීවේ බොහොම කලාතුරකින් ..වැපා උඹට දැනෙන දුක මට හොඳටෝම තේරෙනවා .

තාත්තා උඹ ගැන හුඟක් ආඩම්බර වෙන්නැති වැප් ..

hansakinkini said...

චූටි පුතේ තාත්ත නැතිවෙලානෙ!!!!
2002 ජනවාරි දෙවෙනිදා උදේ පාන්දර කලින් දවසෙ හදිසි අනතුරක් නිසා රෝහල්ගත කරපු තාත්තව බලන්ඩ ගිය අම්ම ශාන්ත ගමනින් ඇවිල්ල කඳුලු පිරිච්ච ඇස්වලින් අපි දෙන්නට කිව්ව හැටි මට තාමත් මැවිල පේනව...
අඩුම ගානෙ දවසකට වතාවක්වත් තාත්තව සිහිවෙනකොට මට මැවිල පේන්නෙ තාත්තව රෝහලේ ඇඳක සිහිනැතිව ඉන්නව දැකපු තත්පර කීපය... දැනෙන්නෙ හදිසි අනතුරු ඒකකය ඉදිරිපිට පැය ගාණක් හිටගෙන ඉඳල තාත්තව බලල ඇවිත් හිතේ වේගෙට එතන සිමෙන්ති බංකුවක ඉන්දවුණාම දැනිච්ච ඒ බංකුවෙ සීතල....
මේ හැම දෙයක්ම අස්සෙන් මට තේරැණ එක දෙයක් තියෙනව මල්ලි...
අපේ තාත්තල කොහෙ හරි ඉඳන් අපි දිහා බලන් ඉන්නව!!
අපි වැටෙන්න යන හැම තැනකදිම එයාලගෙ දෑත අපි වටා රැඳිල අපිව රැකවල් කරනව!!!
තාත්තට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා !!!!

amila chathuranga said...

බොහොම රසවත් කතාවක්..ස්තූතියි ලිව්වට..

nawammawatha said...

තාත්තට නිවන් සුව ලැබේවා !

වෙද ගෙදර මහ වෙදනා said...

පුතෙක්ට තාත්තගේ මතකය හරියට වටිනවා. තාත්තෙක්ගේ වටිනාකම දැනෙන්න නම් වයස අවුරුදු 30 පනින්නම ඕනෙ. එතුමාට නිවන් සැපයම ලැබේවා! මෙතෙක් මා කල යම් පිනක් වේද එතුමාටත් අනුමෝදන් වේවා!!!

දුමී said...

"දුවට මවක මිස..." කියනවා වගේම "පුතෙකුට පියෙකු මිස" අන් කවරෙක්ද...! පුතෙක්ගේ පෞරුෂය වැඩෙන්නේ තමන්ගේම තාත්තාව අණුකරණය කරලයි.....!

තාත්තා කෙනෙක් ජීවිතයට නැතිවීමෙන් ඇතිවෙන් රික්තය පුරවන්න සමතෙක් මේ ලෝකෙ නෑ...!

වැප් මල්ලිගේ පියාණන්ට පතනා බෝධියකින් නිවන් සුව අත් වේවා !!

පිස්සා පලාමල්ල said...

මචන් මට ඇඬුනා බන්...

එතුමාට නිවන් සුව ලැබේවා...

prasanna86k said...

මට කියන්න දෙයක් නෑ වැප්...!

පබලු said...

මේ ආර්ටිකල් එක මම කියෙව්වේ ඊයේ හවස.ඒත් ඒ වෙලාවේ කොමෙන්ට් එකක් දාන්න හිත ඉඩ දුන්නේ නැ..ලොකු දුකක් වගේම ලොකු සතුටක්..මේ රටේ මෙහෙම පුත්තු ත් ඉන්නවා කියන එක සතුටක්.

ආදරණීය තාත්තට නිවන් සුව !!

Pathum Herath said...

සංවේදී කම ඇතුලෙ තියෙන බුද්ධිමත් කමින් ලෝකේ දිහා බලන්න ඕනේ කියන එක මීට අවුරුදු 10කට කලින් මට අපේ තාත්තගේ අවසන් ගමනින් පස්සේ තේරුම් ගියා. අපේ හිත හදාගන්න ලේසීම විදිය ඒකයි.. දුක යටපත් කරගෙන දරා ගන්නේ නැතුව දුක් වෙන්නේ ඇයි කියන දේ ගැන හිතල බලන්න... එතකොට තාත්ත අපි ගාව හැමදාම ඉන්නව වගේ දැනෙයි....

Observer said...

අවුරුදු ගානකට ඉස්සෙල්ල තාත්තට අන්තිමයි කියල පණිවිඩේ ආවම, ඔක්කොම දමල ගහල ගෙදර ගිය හැටි මතක් වුනා. ගෙදර ගිහින් විනාඩි විස්සක් ඇතුලත තාත්ත අවසන් හුස්ම හෙළුව. මං එනකල් පන අල්ලගෙන හිටියද කියල හිතුන.

නිශ් said...

වැප් ගෙ තාත්තට නිවන් සුව පතනවා...

තාත්තල ගැන මම කතා කරන්න හරි කියවන්න හරි කැමති නෑ අදටත් ඇහැට නිරායාසයෙන්ම කඳුලක් එන දෙයක් ඒක.....

උඹත් කවද හරි හොඳ තාත්තෙක් වෙයන් අනිවා උඹේ තත්තට සතුටු හිතෙයි.

Rajith said...

වැප් අයියගේ තාත්තට නිවන් සුව ලැබේවා!

..ChAnDiKa.. said...

කියෙවුවා බං........

සෝරෝ said...

ගොඩක් තාත්තා එහෙම තමයි මම හිතන්නේ... මේ ලක්ෂණ වලින් සමහර ඒවා මගේ තාත්තටත් තියෙනවා..

උඹේ පියානන්ට නිවන් සුව අත්වේවා..!!

කතන්දර Kathandara said...

මේ ලිපිය කියවූ මුල් දිනයේ කෙතරම් හැඟුම් බර වූවාද කිවහොත් ප්‍රතිචාරක් කළ නොහැකි විය.

වැප් ගේ පියාට නිවන් සුව පතමි.

සූස්ති ගුණේ said...

මචං, කිව්වට කමක් නැහැ මගෙ හිතේ?

අපි අතරේ නොයෙකුත් මතවාදී නොගැලපීම් තිබුනත්, මේක මාවත් යම් තරම් සසල කල ලිපියක්.

දුක් වෙන්න දෙයක් නැහැ, අපිට හැප්පෙන්න හරි, කෙලින් තමන්ගෙ මතය විතරක් නෙවෙයි අනුන්ගේ මතයත් එලියට දාන්න ඉඩක් හදපු පොරක්නේ උඹ. එහෙව් පුතාගේ තාත්ත සතුටින් ඒ ගමන යන්න ඇති.

Hasitha said...

නාස්ති සූර්ය සමප්‍රභා - නාස්ති පිතෘ සමො බන්ධූ
සූර්යයා හා සමාන ආලෝකයක් නැත, පියා හා සමාන ඥාතියෙක් නැත

Post a Comment