Sunday, October 31, 2010

අල්ලපු ගෙදර කපටියා

මේක මේ එකදාස් නමසිය බර ගනන් වල වෙච්ච සුට්ටි කතාවක්. පොඩි කාලේ ඉතින් අල්ලපු ගෙදර අපේ ගෙදර කියලා වෙනස් නැහැ හැම තැනම රිංගනවා. වැඩිහිටියන්ගෙත් කිසිම විරෝධයක් ඇතිවෙන්නේ නැහැ. මොකද කියන දේ අහන එකක් යැ. එපා කිව්වොත් ඒ දේ කරන වාර ගාන වැඩි වෙනවා. ජංගි කොටේ ගහගෙන එහෙ මෙහේ දුවන කාලේ අපේ අම්මා මටත් ගෙනැල්ලා දුන්නා විසිල් එකක්. කට්ටියට මතකද දනනේ නැහැ අර සද්දේ ඇහෙනකොට මලක් කැරකෙන විසිල් එක.

අල්ලපු ගෙදර මාගේ යාලුවාගේ තාත්තා ඉන්නේ රට. බුවාට ඉතින් නානප්‍රකාර සෙල්ලම් බඩු. අපි‍ට කොයින්ද පූසෝ මාලු කියලා මං ඉතින් විසිල් එක ගහ ගහ ගේ වටේ කැරකැවෙනවා.පොඩි කලේ නෙමෙයි ඉතින් දැනුත් අලුත් මොනවා හරි හම්බුනාම ඕක ප්‍රදර්ශනය කොරන්ටනේ ඔක්කොමල්ලා හදන්නේ. ඉතින් මාත් සද්දෙට විසිල් එක ගහනවා අරූට ඇහෙන්න. මේක ඇහිලා අරූ මොකද කලේ මේකට කෑඳර කම ඇති වෙලාද මන්දා, මූ එක පාරට  රතු පාට ලොකු කාර් එක්ක නූලාක දාලා උගේ ගේ වටේ අරන් කැරකෙවෙනවා. මං මෙහේ කැරකෙනවා, ඌ එහේ කැරකෙනවා. මං විසිල් ගහනවා අරූ කටින් හෝන් ගහනවා. හික් හික් එහෙමත් ජවුසමක්. ඔන්න දැන් වැඩේ ජයටම යනවා. මං අපේ ගේ වටේ කැරකෙනාවා. ඌ එහේ කැරකෙනවා. ඔහොම ඔහොම කැරකි කැරකි ඉන්න කොට එක වෙලාවක් එනවා නේ දෙන්නම සමාන්තරව කැරකෙන, අන්න එතන තමයි තැන. මං ගහනවා විසිල් පාරක් මුකුත් නැහැ මුලු පලාතම කැරකිලා යන්න, හප්පේ සතුටේ බැහැ මලත් කැරකෙනවා නිකන් රූම් පෙත්ත වගේ. අරූ අල්ලපුගෙදර එකා ගහනවා හෝන් පාරක් හරියට ඌට ඉස්සරහින් ලොකු ටැෆික් එක්ක තියනවා වගේ.

තරහා නැති උනත් අලුත් යමක් හම්බුනාම තියන ආඩම්බර කමින් තමයි මං ඉන්නේ. මට ඉතින් ඔය වෙලාවේ ආඩම්බර කම ඉහට ගහලා, මෙලෝ දෙයක් මොලේට එන්නේ නැහැ. අරූ පනාව දැම්මා මාත් ඉතින් රැවුල කරකවලා පොඩි උඩඟු හිනාවක් දැම්මා. ටිකකින් ඌයි මායි කතාවට වැටුනා. දැන් මෙන්න අරූ දැම්මා පොඩි බිස්නස් ටෝකක්, "මචං අපි ඔය විසිල් එකයි මේ කාර් එකයි මාරු කරගමුද කියලා" මාත් ඉතින් අයේ මොනවද දෙපාරක් හිතුවේ නැහැ හා කිව්වා. ඇයි බන් කවදා පැදපු කාර්ද? . ඔන්න දැන් ගිවිසුම හරි මං කාර් එක ගත්තා ඌ විසිල් එක ගත්තා. දෙන්න ගෙවල් දෙකට ගියා.

දැන් ඕන් අරූ විසිල් එක ගහ ගහ ඌගේ ගේ වටේ කැරකෙනවා. හික් හික් උබලා හිතුවාද මාත් අරූගේ රතු පාට කාර් එක නුලෙන් ඇදන් අපේ ගේ වටේ යනවා කියලා. හපෝ නැහැ මං ඒක ගිහින් අල්මාරියේ දැම්මා පරිස්සමට, ඇයි බන් රතු පාට කාර් එකක් කිව්වාම සෙල්ලංද, අනික රට බඩු. අරූ ගිරිය කඩන් නලාව ගහනවා. හික් හික් මට කාර් එකක් ඌට රුපියල් 2.50 මළ කැරකෙන නලාවක්. හරි දැන් ටිකෙන් ටික අරූ ගේ නලාවේ සද්දේ අඩු වෙනවා. මෙන්න ටිකකින් නලා සද්දේ නැහැ. මුගේ සද්දේ ඇ‍හනෙවා මගේ නම  කියන. මාත් ගියා  දැන් හරියට කාර් එකෙන් බැහැපු එකා වගේ. ටිකක් ඔලුව කහ කහ එන ඌ මේන්න ආයෙත් යෝජනවාක් අරන් අවා. "මචන් මට කාර් එක දිපන් උබට මං උබේ විසිල් එක දෙන්නම් කියලා". හපොයි දැන් මොකෝ කරන්නේ  බැහැ කියන්න යෑ. මාත් හා කියලා අයේ කාර් එක දිලා අරූට පිඔලා පිඔලා ඇති වෙච්ච නලාව ගත්තා. වටිනාකම  වැඩි හින්දා අල්මාරියේ දාලා තිබුණු රතු පාට අරුගේ කාර් එක විහිලුවටවත් මං එක පාරක් ගේ වටේ අරන් කැරකුනේ නැහැ නොවැ. මොනවා කරන්නද ........... මං අහු උනා අරුගේ ගැටේට.හැබැයි ඉතින් ඒ වයසේදි අපිලට කපටි කම් තේරෙන්නේ නැහැ. සමහර විට අරූ උනත් අසාවට ගත්තා එපා හින්දා අයෙත් මට දුන්නා.

මේ කතාවේ අදර්ශයක් එහෙම  තියෙ නම් ගනිල්ලා :D

වැප්

26 comments:

දුමී said...

ආදර්ශේ තමයි, කවදාවත් විසිල් එකක් කාර් එකකට මාරු කරන්න එපා කියන එක.

කොහොමත් ඔය ගහන ඒවයි, පදින ඒවයි මාරු කරගන්න හොඳ නැහැ .. . . !

වැම්පයර් said...

දැන්වත් ඔය ගොනා විකුනල දාපන් මචන්.. හික් හික්..

මාරයාගේ හෝරාව said...

ගත හැකි පාඩම් කෙසේ වෙතත් උඹලැහැ ගෙවල් කොයි හරියෙද කියලා කියාපං මලේ..මටත් ඔය කිට්ටුව පාතින් කාමරයක්වත් කුළියට ගන්න...

චමිදේවා said...

ආදර්ශෙට ගන්න තියෙන්නේ ඉතින් උඹ වගේ මෝඩයෙක් නොවී ඉන්න ඕනා කියන එක තමා..:D

සහන් said...

මටත් කියන්න තියෙන්නේ අර "මාරය" කියපු කතාවම තමා.... :ඵ්
(මෙහ් ඒක නෙමේ තාම තියනවද ඔය අසනීපෙ)

udaya.jayawardhana said...

ඔහොම පොට්ට චාන්ස් එකකින් ලැබුන රතු කාර් එක උඹ නොපැද හිටපු එක තමයි මේකෙන් ගන්න තියෙන පාඩම. හාවා හඳ දකිනවා වගේ කලාතුරකින් ලැබුන අවස්තාවෙන් පොඩිම ප්‍රොයෝජනයක් වත් නැතුව ගියා.... මේක ඉතින් බොට විතරක් නෙවෙයි, අපි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්..... :P :D

Pasan said...

ඔං මං ආදර්ශයක් තිබිල ගත්ත ඇ....:-D

ජීවිතේමල් said...

වෑෆෝ...
දන්නවද වදේ මේ පෝස්ට් එක කියවල මට කෑරකිල්ලයි. එක පාරක් කම්මෑලි පොස්ට් එකක් නිසා අපිට වස් වෑදුනා. මේ පාර කෑරකිල්ල.... අනෙ අම්මේ ... එහෙමත් කරකෑවිල්ලක්....

Dar[K] said...

ආදර්ශේ තමයි, කවදාවත් විසිල් එකක් කාර් එකකට මාරු කරන්න එපා කියන එක

ගීත් (සහෘදයා) said...

මචං වැපා ද්විපාර්ශවීය හුවමාරු එකගතා ගිවිසුමක් මත අපි දවස් දෙක තුනකට ගර්ල් ෆ්රෙ‍න්ඩ්ලව මාරු කර ගමුද? :D
උබේ හොටු කෑල්ල වගේද මගේ මොනරකුඩුම්බිය. මොකද කියන්නේ උබට උඩින්ම ලාභයි.

wath said...

රැවුල කරකවලා
ජංගි කොටේ ගහන් ගේ වටේ දුවන කාලෙම ?
මට නම් ගන්න තියෙන ආදර්ශය තමයි. රතු කාර් අල්මාරියෙ ඇතුලෙ දාලා තියන්න එපා කියන එක...

බුද්ධි said...

ඈත්තටම උඔ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්.

නැත්තං අරූ කියන කියන පදේට නටයි යැ!

දෙන්ඩ කියද්දි දෙන්නයි එපා වෙලා ආයෙ දෙද්දි ඒක බාර ගන්නයි.......

ජේ.ඩී said...

හිහ් හිහ් හිහ් අපරාදෙ බොල පිනා චැන්ස් එක. උබ මහ බූරු පැටියෙක්නේ. ඇයි බං අල්මාරියෙ ගිහින් දැම්මෙ ඒක. ගන්න තියෙන ආදරෙශෙ තමා, විසිල් එකකට කාර් එකක් මාරු කරනවානම් ගිවිසුමක් අත්සන් කොරල මාරු කරන්න ඔනෙ කියන එක හැxxxxxxxxx ලොලේ ලොල් :)

ළමයා said...

හැක් හැක්.. ඌ දැන් ඇවිල්ලා වැප් අයියා අලුත ගේන මොනා හරි ඉල්ලුවොත් දෙනවා එහෙම නෙවේ.. මොකෝ දැන් වැප් අයියට ගේන්න තියෙන ඒවා බෙදාගන්න පුලුවන් ඒවා නෙවේනේ.. ;)

harshana1985 said...

අනිවා මචං........ ගහන ඒවයි පදින ඒවයි මාරු කර ගන්න හොඳ නෑ

සසීන්ද්‍ර වීරසිංහ said...

අනේ මේ වැපා අපේ ගේ ලඟ හිටියනම්!!

priyantha.ඒබී said...

කියන් තියන ඔ‍ක්කොම කලින්ම කියල ගිහින්. අර වත් කිව්වා වගේ කොහොමද ඔය කාලේ රැවුල කරකවන්නේ?????

අනුරාධ said...

මටනම් ඕකෙන් ගන්න ආදර්ශයක් නෑ.... ඒත් කවද හරි දවසක අපිට අපේ පොඩි එකෙක්ට කියන්න පුලුවන්..... "පුතේ.... අර වැප් අන්කල් වගේ බත් කන හරකෙක් නොවියන්" කියලා.

වැප් said...

තුහ් නොදකිං මුන් ඔක්කොම ... බැරි වෙලාවත් මං මේකතාව අනික් පැත්තට ලිව්වානම් ඒත මුං මට බනිනවා ... ඒ කිව්වේ අල්ලපුගෙදර එකාව මං අන්දුවා නම්...... දැනුත් බැනුම් අහනවා :D

හරියට මුන් ඔක්කොම මලෙන් උපන්නා වගේ ... හික් හික් බුද්ධියයි උදය සහෝයි විතරයි .. වෙනස් විදිහකට දැක්කේ... අනික් ඔක්කොම උන් ...කැත හිත ... :D

තරංග ප්‍රේමරත්න said...

ම්ම්ම්... කොහොම උනත් ලද දෙයින් (කැඩිච්ච නලාවෙං ) සතුටු උනානෙ ඒ මදෑ

RanDil said...

මගේ හබීගේ යාළුවෝ කට්ටියක් දවසක් අපේ ගෙදර ආවා. දන්න හඳුනන මෝඩයින් ගැන විද්වත් සාකච්ඡාවක් පැවත්වුනා එදා. එක යාළුවෙක් කිව්වා, "මචංලා උඹලා මොනවද බං මෝඩයින් ගැන දන්නේ, අපේ ගෙදරට එහා පැත්තේ ගෙදර ඉන්න එකා තරම් උපන්ගෙයි මෝඩයෙක් මං ජීවිතේට දැකලා නැහැ" කියලා.

ඉතිං කට්ටිය ඒකට උදාහරණ ඇහැව්වා, බොහොම ගණනක් කිව්වත් මෙන්න මේක තමයි හොඳටම මතක හිටියේ මට.

"ඒකාට ඒකාගේ අම්මා දෙකයි පණහේ විසිල් එකක් ගෙනැත් දීලා දවසක්. මේකාගේ හිතේ ටයිටැනික් ‍නැවේ හෝන් එක මේ දැන් හොයා ගත්තා වගෙයි, ඕක පිඹ පිඹ මේකා ගේ වටේ රවුන් ගහනවා, බොරු කියන්න ඕනේ නැහැ මචං මට ඔය වගේ දෙකයි පණහේ කෑලි ලැබෙන්නේම නැති තරං. ඉතිං මටත් නිකමට වගේ ආසාවක් ඇති වුනා ඕක පිඹලා බලන්න. මේකා අලි මී හරකා කියලා මං දන්නවානේ, මං කිව්වා මගේ තාත්තා මට රට ඉඳන් ගෙනැත් දීපු රතුපාට කාර් එක උඹ ගනින් මට ඔය විසිල් එක දීපන් කියලා, අනේ මෙන්න මූ උඩින්ම කැමති වුනා. මං හොරෙන් බලන් හිටියා ජනේලෙන්, මූ කාර් එක අරං ගිහින් දැම්මා අල්මාරියේ, ආයේ මොනවද මට මාර සැටිස්, මං පිම්ඹා පිඹිල්ලක් අර විසිල් කෑල්ල ගම දෙවනත් වෙනකං. අන්තිමට මගේ බඩේ හුලං අහවර වුනාට පස්සේ ඒක දීලා ආපහු කාර් එක ඉල්ලුවා. අනේ ඉතිං අරූ චප්ප වෙච්ච කජු ලෙල්ලක් වගේ මූණ හදන් ගිහින් ඒක මට ගෙනැත් දුන්නා. පව් කියලත් හිතෙනවා. ඔන්න බලාපං මෝඩයෝ........."

ඉතිං මට අද ඒ කථාව මතක් වුනා මේ කථාව කියවලා. හබීගේ යාළුවා නං ඉන්නේ ඔය නුවර පාරේ ගිහින් කඩවතට කලින් හැරිලා යන්න ඕනේ දිහාක. වැප්ගේ ගෙවල් කොහේද හැබෑටම.

තනෝජා රාජපක්‍ෂ said...

ඇත්ත.... ඔයා ගොඩක් උසස් ගතිගුණ තියෙන කෙනෙක් කියල පේනවා... මමනම් මගේ දරැවන්ට කියල දෙන්නෙ වැප් මාමා වගේ අනුන්ගෙ දේවල් හොඳට පරිස්සම් කරන්න ඉගෙන ගන්නයි කියල මලේ....

Hasitha said...

මොකක් හරි මාරු කරගත්තොත් ඒ මාරු කරගත්ත ඒවා ආයි පාරක් මාරු කරගන්න කැමති වෙන්න එපා

වැප් said...

@දුමී
හික් හික් සහතික ඇත්ත

@වැම්පයර්
පොඩි කලේ ඉඳන් ඉන්න එකා කොහොම විකුණන්ද බන්

@මාරයාගේ හෝරාව
කුලියට දෙන්නේ නැහැ බන් අපේ පැත්තේ කාමර :D

@චමිදේවා
මෝඩ කමත් පිළිතුරක්ලු :D

@සහන්
මටත් කියන්න තියෙන්නේ මාරයට කියපු කතාවම තමයි

@udaya.jayawardhana
ඔව් වෙනස මං කිව්වා...... අනික් උන් හංගන් ඉන්නවා :D

@Pasan
ගත්තේ නැතුවට කමක් නැහැ .... අනික් අයට දැන ගන්න කිව්වේ නැති එක තමයි නරක වැඩේ

@ජීවිතේමල්
හා හා කැරකැවිල්ල ........... හිකිස් මරු මරු කැරකී කැරකී ඉමු :D

@Dar[K]
ඔව් ඒකත් නරක නැහැ

@ගීත් (සහෘදයා)
මං කැමතියි .. :D

@wath s
අඟුරු කැල්ලෙන් ඇන්දා වගේ තමයි :D


@බුද්ධි
අද මං ඒ ගැන සතුටු වෙනවා .....

@ජේ.ඩී
කපටි නරියෙක්ට වඩා බුරූවෙක් විම නරකද බන්

@ළමයා
ඒවවා එයා කාරයි මෙව්වා මෙයා කරයි

@harshana1985
ඔව් අනිවා ඩෙෆා

@සසීන්ද්‍ර වීරසිංහ
හික් හික් ......... මොනවා මාරූ කරගන්ටෙයි :D


@priyantha.ඒබී
ඇති රැවුලක් නැහැ බන් අතින් දැම්මා හිකිස්

@අනුරාධ
ඔව් ඔව් අපේ පොඩි එකාට කියමු :D

@තරංග ප්‍රේමරත්න
අන්න කතාව ......ලද දෙයින් සතුටු වීම .. අපේ එවුන්ට කොහේද එව්වා

@RanDil
ඔය කියලා තියෙන්නේ හබීයට වෙච්ච එක මටත් වඩා හොඳට :D

@තනෝජා රාජපක්‍ෂ
අන්න එහෙම තමයි දරුවන්ට ආදර්ශ දෙන්න ඔනේ... අනුගේ දෙවල් පරිස්සම් කරන්න

@Hasitha
ම්ම් හැමතැනටම වලංගු කරන්ටත් බැහැ වගේ

ඔන්න ඉතින් ආදර්ශ බොහෝමයි ........එක එක අය එක එක විදිහට හිතුවට මේ කතාව මතක් වෙනා කොට මට අදටත් සතුටුයි. වලියක් නොදාගෙන සාමදානයෙන් ප්‍රශ්නය විසඳගත්ත එක ගැන

RanDil said...

වැප්,

ඇත්තටම අපේ තියෙන යාළු කම නිසා මං ඔය විදිහේ කොමෙන්ටුවක් නිර්මාණය කරලා දැම්මත්, අපි හැමෝටම ඔය වගේ දේවල් අඩු වැඩි වශයෙන් වෙලා තියෙනවා නේද කියලා හිතෙද්දි හරිම ලෝභ කමක් දැනෙනවා. ඇත්තටම පුංචි දරුවෙක් විදිහට ඔයාට මොන තරම් කණගාටුවක් ඇති වෙන්න ඇද්ද? පව්........
මගේ මහත්තයා පොඩි කාලේ ඉස්කෝලේ ගිහින් කඩචෝරුවක් කන්න කියලා අම්මා දෙන රුපියල දෙක එකතු කරලා, එකතු කරලා, පුංචි වීදුරු මාළු ටැංකියක් අරං. ඉතිං ඒක වීල්බරෝවක තියලා තල්ලු කරගෙන එනකොට නියරකින් හරවන්න ගිහින් වීල්බරෝව කාණුවට වැටිලා මාළු ටැංකිය බිඳිලා. මට ඔය කථාව මතක් වෙන හැම වෙලාවේම ඒ පුංචි දරුවාගේ මුහුණ මැවිලා පේනවා. බලාපොරොත්තු කඩවීම කියන එක උපරිමයි‍නේ ඔය වයසට ඔය වගේ දෙයක් වුනහම. මේ කථාව කියෙව්වාමත් ඒ වගේම පව් කියලාමයි හිතෙන්නේ.........

හොඳ කථාවක්. ලස්සනයි............

ගයාන් තාරක said...

අනිත් පැත්තෙ කතාව රන්දිල් අක්කා ලස්සනට කියල තියෙනවා.. හික් හික්.. අල්ලපු ගෙදර මෝඩයා..

Post a Comment